ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ජා කෙරේ

දිනය : 2023-11-18

  • ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීම අවසන් අදියරේ

 

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ජා විය.

මේ රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති, පසුගිය මාස 2-3 දෙස බලන විට නැවතත් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේවල් රට තුළ සිදුවී ඇති අතර ඇතැම් දේශපාලන නායකයන් සහ ආගමික නායකයින් අන්‍ය ආගම් හෝ ජාතීන්ට නිග්‍රහ වන ලෙස හැසිරෙන බවත් මෙය දිගින් දිගටම සිදුවුහොත් මේ රට ආර්ථික බංකොලොත් තත්ත්වයෙන් ගොඩගැනීමේ රජයේ උත්සාහය අසාර්ථක වන බවත් පැවසීය. එබැවින් මෙම පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය පියවර මෙම කාරක සභාව හරහා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත හරහා යෝජිත ඉලක්කයක් වන ප්‍රතිසංධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් එය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කළ හැකි බවත් ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. එමෙන්ම විශ්වවිද්‍යාල සහ පාසල් හරහා සිදුකරන ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳවද ඔවුන්  කාරක සභාව දැනුවත් කළේය.

ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ හොඳම වේදිකාව පාසල් ව්‍යුහය බව පෙන්වා දුන් කාරක සභාව, මෙම පනත සඳහා නීත්යානුකූලවම පාසල් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි වන්නේ කෙසේදැයි විමසා සිටියේය. එයට පිළිතුරු ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂික පාසල් 67න් තෝරාගත් පාසල් සමඟ මූලික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයයෝ පැවසූහ. තවද මෙම පනතේ විධිවිධානවලට අනුව ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයට අවශ්‍ය සංශෝධන සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්, ආංශික අධීක්ෂණ කාරක සභාවේ මීළඟ රැස්වීම්වලට තරුණ නියෝජිතයන් ද ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් කාරක සභාවේ සභාපති ගරු ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් පැවසීය.

මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චින්තක අමල් මායාදුන්න මහතා ද සහභාගී විය.

 

8 2

4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි