ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වෛද්‍ය සැපයුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය බැදීම් පියවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දිනය : 2023-11-15

  • සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක් ප්‍රමාදවීම පිළිබඳ අවධානය
  • අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තාවේ කෙටුම්පත පිළිබඳ අවධානය
  • පාරදෘශ්‍යභාවය වැඩිකිරීම වෙනුවෙන් සියලු ආදායම් යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුව කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙයි.

 

වෛද්‍ය සැපයුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය බැදීම් පියවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වුයේ රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැ. 14) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මෙම පරිපූරක ඇස්තමේන්තුව 2024 වසරටත් අයවැය ලේඛනය ඉදිරිපත්කරන අවස්ථාවේ මේ වසර අගදී ඉදිරිපත් කළේ ඇයි දැයි කමිටුව විමසන ලදි.  මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ  2023 වර්ෂය සඳහා සෞඛ්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 110ක් වෙන්කර තිබූ බවත් එයින් බිලියන 55ක් විදේශීය මූල්‍යකරණ ආයතන මගින් ලබාගැනීමට සැලසුම් කළ බවත්ය. මෙම මුදල් බලාපෙරොත්තු වූ ආකාරයෙන් භාවිත නොවුණ බැවින් විසර්ජන පනත මගින් වෙන්කළ සමස්ත වියදම් සීමාවට කිසිඳු වෙනසක් නොවන ආකාරයෙන් රුපියල් බිලියන 20 වෙන්කරගැනීම පරිපූරක ඇස්තමේන්තුවේ අරමුණ බව පෙන්වා දුන්හ.  

එසේම මෙහිදී සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක් ප්‍රමාදවීම පිළිබඳව සහ හදිසි මිලදීගැනීම් සිදුවන ආකාරය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු කෙරුණි. තවද සෞඛ්‍ය සැපයුම් වියදම් බිලියන 300-500 දක්වා ඉහළ ගියේ ඇයිද යන්න විශ්ලේෂණය කිරීමට කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

මීට අමතරව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතු වාර්තාවේ කෙටුම්පත පිළිබඳවද මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු කරන ලදි. මෙහිදී මෙම වාර්තාවේ කෙටුම්පත පිළිබඳව ආචාර්ය රෝෂන් පෙරේරා මහත්මිය විසින් කමිටුවට පැහැදිලි කිරීමක් කරන ලදි.

මෙම පැහැදිලි කිරීමේදී බදු ආදායමෙන් 2024 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.1% ඇස්තමේන්තුගත කර තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සඳහා තවත් 2.5% කින් වැඩි කළ යුතු නමුත් එය කළ හැකිද? යන්න පිළිබඳ අවධානය යොමු විය.

එසේම යහපාලනය සුරකිමින් පාරදෘශ්‍යභාවය වැඩිකිරීම වෙනුවෙන් සියලු ආදායම් යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත්කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදි. විශේෂයෙන්ම මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යාංශය විසින් සකස්කොට ලබාදෙන වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමේ වැදගත් කම කමිටු සභාපතිවරයා පෙන්වා දෙන ලදි.

තවද මෙහිදී පසුගිය රජයට සාපේක්ෂව විනිවිදභාවය සහ සහයෝගීතාවය පවත්වාගනිමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳව කමිටුවේ ප්‍රසාදය පළකරන ලදි. එසේම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සහ අයවැය ඉදිරිපත් කිරීම සඳහා වෙහෙස වී කටයුතු කිරීම පිළිබඳවද ඔවුන්ට මුදල් කමිටුවේ පැසසුම් හිමි විය.

රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ගරු සීතා අරඹේපොළ, ගරු (වෛද්‍ය) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දුමින්ද දිසානායක, ගරු චන්දිම වීරක්කොඩි, ගරු නිමල් ලන්සා,  ගරු දුමින්ද දිසානායක, ගරු මයන්ත දිසානායක, ගරු හර්ෂන රාජකරුණා, ගරු ඉසුරු දොඩන්ගොඩ සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම කාරක සභාවට සහභාගි වූහ.

 

9 5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි