ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත ‘කෝපා’ කමිටුව හමුවට

දිනය : 2023-11-03

  • ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳ අවධානය
  • ක්‍රීඩාව සම්බන්ධයෙන් පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් අවධානය
  • ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ කෝපා කමිටුවට ඉදිරිපත් කරයි
  • ඉදිරි වසර වලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩි අවධානය
  • දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදු කරන ඉදිකිරීම් පිළිබඳ සාකච්ඡා වේ

 

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුව හමුවට කැඳවීම පසුගියදා සිදු විය. මින් පෙර 2023.09.06 දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සූදානමකින් තොරව කෝපා කමිටුවට පැමිණීම හේතුවෙන් නැවතත් 2023.10.20 දින කැඳවීමට තීරණය වූ අතර ඒ අනුව මෙසේ නැවත කැඳවීම සිදු විය.

මේ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එදින රැස් විය.

මේ අනුව මෙහිදී ක්‍රීඩා සංවර්ධන සැලැස්ම පිළිබඳ පැහැදිලි කරන ලෙස කමිටුව ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් වන සැලසුම කමිටුවට ඉදිරිපත් කරන ලදි. මෙහිදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවද මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

තවද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. මේ අනුව රුපියල් බිලියන 4 පමණ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා වියදම් කර තිබුණද මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු කොට නැති බවද මෙහිදී කමිටුව අනාවරණය කළේය.

ක්‍රීඩාව සම්බන්ධයෙන් දත්ත පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මෙම දත්ත පද්ධතිය 2016 වර්ශයේදී ක්‍රීඩාව සම්බන්ධ දත්ත පවත්වාගෙන යාමේ අරමුණෙන් සකස් කළ බවත් වර්තමානයේද හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතින බවත් මෙහිදී පැමිණි නිලධාරීන් පැවසීය. ඒ අනුව එහි මනා ක්‍රිාකාරීත්වයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය කමිටුව පෙන්වා දුන්නේය.

එසේම ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි වසර වලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ කමිටුවට ඉදිරිපත් කිරීම සහ ඉදිරි වසර වලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කරන ලදි. තවද ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස්කිරීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් පවතින බවයි. මේ අනුව එවැනි දක්ෂතා සහිත ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ 5දෙනෙක් සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් සිදු කරන ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු නිරෝෂන් පෙරේරා, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු සහන් ප්‍රදීප් විතාන  යන මහත්වරු සහභාගී වූහ. 

 

7 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි