ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) ‘කෝප්’ කමිටුව හමුවට

දිනය : 2023-10-31

  • ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කමිටුව ප්‍රශ්න කරයි
  • විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය
  • කොළඹ 13 ශ්‍රී සංඝරාජ මාවතේ පවතින ඉඩමක තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් අවධානය
  • බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය
  • ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්තසාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ අවධානය

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) කැඳවා තිබිණි.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු විය. එසේම මෙම බැංකුව 2014 නොවැම්බර් මස අවසන් වරට කෝප් කමිටුවට කැඳවා තිබුණි.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබඳ අවධානය යොමුවිය.

 

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කමිටුව ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ප්‍රශ්න කිරීම මෙහිදී සිදු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වූ අතර බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයක් රාජ්‍ය පාර්ශ්වය සතුව තිබියදීත් බැංකුව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන්ද පැහැදිලිතාවයක් නොපවතින බව මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය. මේ අනුව මාස 6ක් ඇතුළත මෙම සංකීර්ණතාව විසදීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නේය.

 

විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය.

විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය යොමු වීම මෙහිදී සිදු විය. 2014 නොවැම්බර් 04 දින පැවති කෝප් සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතය ඉක්මවා සිදු වූ මෙම ගෙවීම මගින් බැංකුවට සිදු වී තිබූ පාඩුව රුපියල් මිලියන 69කි. මෙහිදී තැරැවුකාර සමාගමක් තුන්වෙනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම තැරැවුකරු බැංකුව පාර්ශ්වයෙන් පැමිණි පුද්ගලයෙක් බව මෙහිදී අනාවරණය විය. එසේම මේ සම්බන්ධයෙන් මැදිහත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත්කර තිබීම පිළිබඳ මෙහිදී කමිටුව පෙන්වා දීම සිදු විය. මේ අනුව මුදල් අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් සිදු කොට මේ සඳහා මැදිහත් වූ තැරැවුකරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.

 

කොළඹ 13 ශ්‍රී සංඝරාජ මාවතේ පවතින ඉඩමක තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් අවධානය.

කොළඹ 13 ශ්‍රී සංඝරාජ මාවතේ පවතින ඉඩමක තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. මෙහිදී සඳහන් වූයේ කාලානුරූපීව රටේ ආර්ථිකයත් සමගින් මෙම ඉඩම විකිණීම සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි. එසේම මෙය කොළඹ දිස්ත්‍රික්කයේ පවතින වටිනා ඉඩමක් බවද මෙහිදී සඳහන් විය. මේ අනුව මෙවැනි කරුණු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

 

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අවධානය යොමු වීමද මෙහිදී සිදු විය. විශේෂයෙන්ම 2018 ජූලි 18 දින මෙම සමාගම වෙත රුපියල් මිලියන 350 ක මුදලක් ලබාදී ඇතත් මෙම සමාගමේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලුවක් පවතින බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම ණය ලබාදීමේදී සම්බන්ධවූ ඇපකරුවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි. එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කොට සති තුනක් ඇතුළත කෝප් කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙසද මෙහිදී කිමිටුව නිර්දේශ කළේය. තවද මෙම කරුණ පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කෝප් කමිටුව මෙහිදී සඳහන් කළේය. එසේම මෙම ගැටලුව අල්ලස් හා දූෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටුව මෙහිදී සඳහන් කළේය.

 

ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්තසාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ අවධානය

ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්තසාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටුයතු කරන බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මෙහිදී සඳහන් කළේය.

 

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (නීතීඥ) ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු නිමල් ලන්සා, ගරු ජයන්ත සමරවීර, ගරු සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු(මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු එම් රාමේෂ්වරන් සහ ගරු (මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි