ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස්

දිනය : 2023-10-30

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණය සඳහා පද්ධති කිහිපයක් පැවතීම මුදල් අපතේ යාමක්ද?  -  කෝපා අනු කාරක සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරයි
  • අදියර කිහිපයක් යටතේ ''ස්වස්ථ'' තොරතුරු කළමනාකරණ පද්ධතිය සම්පුර්ණ කර අවසන් කිරීමට කාල රාමුවක් සකසන්න - කෝපා අනු කාරක සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස්

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබා දෙන ලදී

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන්, මෙම අනු කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති පිළිබඳ විගණන ජේද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අනු කාරක සභාව හමුවට කැඳවා තිබිණි.

එහිදී විගණකාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණය සඳහා පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති නමුත් මෙරට සෞඛ්‍ය පද්ධතිය ගොඩ නැගීමේදී ඒවයෙන් නිසි සම්බන්ධීකරණයක් සිදුවනවාද යන්න ගැටලුවක් මතුවන බව පෙන්වා දුන්හ.

 එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු, සෞඛ්‍ය පද්ධතිය විධිමත් ලෙසින් කළමනාකරණය කිරීමට මෙම ගොඩ නැගෙන තොරතුරු පද්ධති ඔස්සේ අවකාශය ලැබෙන බව පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව තුල පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වාර්තා විවිධ ස්ථානවල පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති ඔස්සේ පුද්ගලයින්ගේ සෞඛ්‍ය වාර්තා එක් ස්ථානයකින් ලබා ගත හැකි පරිදි අදාළ තොරතුරු කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කරගත යුතු බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.

ඖෂධ කළමනාකරණය වෙනුවෙන් ස්ථාපිත ''ස්වස්ථ'' තොරතුරු කළමනාකරණ පද්ධති ඔස්සේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු අනු කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

ඒ අනුව එම පද්ධතිය මේ වන විට දිවයින පුරා රෝහල් 723ක් ස්ථාපිත කර ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.  තවත් රෝහල් 436ක එම පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී අනු කමිටු සභාපතිවරයා විසින් ''ස්වස්ථ'' තොරතුරු කළමනාකරණ පද්ධතිය සම්පුර්ණයෙන් ස්ථාපිත කර අවසන් කිරීමට අවශ්‍ය, උපකරණ හා සම්පත් පිළිබඳ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙසත් අදියර කිහිපයක් යටතේ මෙම පද්ධතිය සම්පුර්ණ කර අවසන් කිරීමට කාල රාමුවක් සකස් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය වඩාත් ඵලදායී ලෙසින් පවත්වාගෙන යාමටනම් ඒ සඳහාම වෙන්වූ තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත දෙපාර්තමේන්තුවක් පැවතීමේ දැඩි අවශ්‍ය තාවයද අනු කාරක සභාව හමුවේ දීර්ඝ ලෙස සාකච්ජා විය.

ඒ අනුව ලොව දියුණු සෞඛ්‍ය පද්ධති පවතින රටවල, සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධති පිළිබඳ අධ්‍යනය කර, තවත් වසර ගණනක් ඉදිරියට සිතමින් මෙම සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට අනු කාරක සභා සභාපතිවරයා මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි