ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ළමා මන්ද පෝෂණය සම්බන්ධව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන තිබෙන සංඛ්‍යාමය වාර්තා වලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය වෙන්නේ නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වඩිවේල් සුරේෂ් මහතා මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පවසයි

දිනය : 2023-10-30

  • පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් පිරිස නිවැරදිවම හඳුනාගෙන වාර්තාවක් ලබාදෙන්න - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්.
  • වතුකරයේ ගර්භණි මවුවරුන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යයට ඍජුවම බලපානවා - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.

 

ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේනම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගී වුහ.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, ළමා මන්ද පෝෂණය සම්බන්ධව රාජ්‍ය ආයතන ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාමය වාර්තා වලින් සැබෑ ලෙසම දිවයිනේ මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව අනාවරණය නොවන බව පෙන්වා දුන්නේය

ඒ අනුව ළමා මන්ද පෝෂණය සම්බන්ධව පවතින නිවැරදිම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැළසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

එහිදී වැඩි දුරටත් කරුණු පහැදිළි කළ කාරක සභා සාමාජිකයින් ශ්‍රී ලංකාව තුල මන්ද පෝෂණය මෙන්ම අධි පෝෂණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද නිවැරදි දත්ත වල අවශ්‍යතාව පෙන්වා දුන්හ.

දිවයින පුරා ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි.  මේ වන විට වයස මාස 06ත් අවුරුදු 3ත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ නිකුත් කිරීම සිදු නොවන බවත් අවරුදු 3ත් 5ත් අතර දරුවන් සඳහා පමණක් ත්‍රිපෝෂ ලබාදීම කටයුතු කරන බව කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පැවසූහ. මාස 06ත් අවරුදු 3ත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ නිකුත් නොකිරීම පිළිබඳව කරුණු දැක්වූ එම සමාගමේ නිලධාරීහු, එම වයස් ඛාණ්ඩය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී අදාළ නිර්ණායකයන්හි පවතින ගැටලුවක් හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන සිදු නොකරන බව පැවසූහ. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ගැටලුව නිරාකරණය කර දීමෙන් පසුව එම වයස් ඛාණ්ඩය සඳහාද ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ හැකි බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම බෙදා හරිනු ලබන ත්‍රිපෝෂ දුෂ්කර පළාත්වල අවශ්‍යතා සහිත පිරිසට නිවැරදි ආකාරයෙන් බෙදී යන්නේද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව නිවැරදිවම පෝෂණ අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගෙන සහ  අවශ්‍යතා පවතින දරුවන්ටම මෙම ත්‍රිපෝෂ බෙදීයාම පිළිබදව අධීක්ෂණය සිදුකළ යුතු බවද  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම වතුකරය ආශ්‍රිත දරුවන්ගේ හා ගර්භණි මවුවරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම පිළිබඳවද කාරක සාභාවේදී සාකච්ජා විය. එමෙන්ම  වතුකරයේ යම් යම් ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වැසීයාම හේතුවෙන් වතු කම්කරු ශ්‍රමිකයින් දැඩි දුෂකරතාවන්ට මුහුණ දී තිබෙන බවද සභාපතිවරයා කරුණු දක්වමින් පෙන්වා දුන්නේය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෙකුට වතුකරයේ පවුල් 3000ක් පමණ ආවරණය කිරීමට සිදුව තිබීම හේතුවෙන් ප්‍රයෝගිකව කටයුතු කිරීමේ දුෂ්කරතා පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. මෙරට වතුකර ශ්‍රමිකයින්ගෙන් 80% පමණ කාන්තාවන් බවත් ඔවුන් උදෑසනම තමන්ගේ රැකියාව සඳහා පිටත් වූ පසු බොහෝ දුරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අදාළ නිවාස වලට පැමිණෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. එනිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් නොලැබී යාමේ ගැටලුව දැඩිව උද්ගත වී ඇති බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව එම ප්‍රයෝගික ගැටලුව සඳහා පිළියම් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෙකුට උපරිම පවුල් 1500ක් පමණ ආවරණය කිරීමට හැකිවන ලෙස කටයුතු කිරීම තුලින් ඵලදායි සේවයක් ලබා ගත හැකි බව කාරක සභාව හමුවේ කරණු දක්වමින් නිලධාරීහූ පැවසුහ. වතුකරයේ ගර්භණි මාතාවන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යට ඍජුව බලපෑම් ඇති කරන බව කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

මෙරට ළමා මන්ද පෝෂණය හුදෙක් නිසි පරිදි අහාර නොලැබීම නිසාම මතුව තිබෙන තත්ත්වයක් පමණක්ම නොව වැරදි අහර රටාද ඒ සඳහා බලපා ඇති බව කාරක සභාව හමුවේ කරුණු දක්වමින් නිලධාරීහු පැවසූහ. මේ වනවිට පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන පෝෂණ ආහාර වේලක් සඳහා වෙන් අකර ඇති රුපියල් 60 ක මුදල වැඩි කර ගැනීමට හැකිනම් තවදුරටත් ලබාදෙන පෝෂණ ආහාර වේල වර්ධනය කරගත හැකි බව නිලධාරීහු පැවසූහ. එමෙන්ම මේ වනවිටත් වතුකරය සඳහාම වෙනම පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර  තිබෙන බවද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් නිලධාරීහු පැවසූහ.

රාජ්‍ය නොවන සංවිධාන වලින් විවිධ ප්‍රදේශ වල දරුවන් උදෙසා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එම වැඩසටහන් රජයේ අධික්ෂණය මත ක්‍රියාත්මක වීමේ වැදගත් කම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. ළමා මන්ද පෝෂණය වැළක්වීම සඳහා රාජ්‍ය ආයතන රැසකින් විශාල ලෙස මුදල් වැයකරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් කාරක සභාව එම වැඩසටහන් එක් රාජ්‍ය ආයතනයක් ඔස්සේ අවශ්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු ජගත් සමරවික්‍රම, ගරු උපුල් ගලප්පත්ති, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

6 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි