ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කළක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ වහාම පුරවන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස්

දිනය : 2023-10-25

  • රාජ්‍ය තොරතුරු පෞද්ගලික සමාගමක් සතුව පැවතීම අවධානම් - සමාගම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරීමට අදාළ මෘදුකාංගය (e - Roc පද්ධතිය) සම්පාදනය කළ සමාගම සමග සාකච්ජා කර නව ගිවිසුමකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට පවසයි
  • රුපියල් මිලියන 85ක පමණ වියදමින්, සමාගම් ලියාපදිංචි යේදී සිදුකළේ යැයි සඳහන් වුණු  ලියකියවිලි ස්කෑන් (scan) කිරීමට අදාළව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • ආයතනයේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට අවශ්‍ය නීති රීති සකසා ගැනීමට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනය කරගැනීමට කටයුතු කරන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට උපදෙස්

 

රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් 2023.10.18 වැනි දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 2019, 2020 සහ 2021 ගිණුම් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමසීම සිදුවිය.

මෙහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කළක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තනතුරට අදාළ බඳවා ගැනීම සිදු නොකිරීම පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. එම තනතුරට අදාළව බඳවාගැනීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලැබී ඇති බව අනාවරණය විය.  

කෙසේ වෙතත් මෙම තොරතුරු තාක්ෂණ, අධ්‍යක්ෂ තතනතුර සඳහා අනුමත කර තිබෙන වැටුප හේතුවෙන් කිසිවෙකුත් ඒ සඳහා අයැදුම් නොකරන බව අනාවරණය විය. අදාළ කරුණු සළකා බැලීමෙන් පසු කාරක සභාව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ, අධ්‍යක්ෂ තනතුර සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ, මේ කාලසීමාවේ වෙළඳපොලේ එම තනතුර සඳහා පවතින වැටුපට සුදුස්සෙකු බඳවා ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පරිගණක ගත කිරීමට අදාළ මෘදුකාංගය (e - Roc පද්ධතිය) පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. එහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දත්ත, එම e - Roc පද්ධතියට ලබා දී ඇති පසුබිමක පරිගණක පද්ධතිය පෞද්ගලික සමාගමක් මගින් හැසිරවීමේ අවධානම ගැන කාරක සභාව නිලධාරීන්ගේ අවධානයට යොමුකරන ලදී. ඒ අනුව එම පරිගණක පද්ධතිය සම්පාදනය කළ සමාගම සමග නව ගිවිසුමකට හෝ පැමිණ දත්තවල සුරක්ෂිතතාව හා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස සේවය ලබාගැනීමට කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.    

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගම් වලින් අයවිය යුතු හිඟ මුදල් අයකර නොගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසන ලදී. එහිදී සභාපතිවරයා විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ   ලියාපදිංචි සමස්ත සමාගම් ගණන, මේ මොහොත වන විට ලියාපදිංචි සමාගම් වලින් සක්‍රීයව පවතින සමාගම් ගණන, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට සමාගම් කොපමණ ප්‍රමාණයකින් හිග මුදල් කොපමණ ප්‍රමාණයක් අයකර ගතයුතුව තිබෙනවාද යන්න ප්‍රශ්න කළේය. ඒ සම්බන්ධ තොරතුරු පූර්ණ ලෙස ලබාගැනීම සඳහා ක්‍රමවත් දත්ත පද්ධතියක් නොමැති බව පෙන්වාදුන් නිලධාරීහු සිදුව ඇති අඩුපාඩු නිවැරදි කරගැනීමට ඉදිරියේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බව පැවසුහ. එමෙන්ම වර්තමානය වනවිට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සමාගම් වලින් සක්‍රීයව පවතින සමාගම් හඳුනාගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරගැනීමටද සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

රුපියල් මිලියන 85ක පමණ වියදමින්, සමාගම් ලියාපදිංචියේදී අදාළ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සඳහා ස්කෑන් (scan) කර ඇතැයි පැවසුණු ලියකියවිලි සම්බන්ධයෙන්ද කාරක සභාව තුළ සාකච්ජා කෙරිණි. එහිදී ස්කෑන් (scan) කර ඇති ලියකියවිලි වලින් සියලුම ලියකියවිලි පද්ධතිය සඳහා ඇතුලත් කර නොමැති බවත් අවශ්‍යතාවය මත එම සියලු ලියකියවිලි පද්ධතියට ඇතුලත් කරන බව අදාළ නිලධාරීහු ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් සමාගම් ලියාපදිංචියේදී සිදුකළ ලියකියවිලි ස්කෑන් කිරීමට අදාළව සියලු  තොරතුරු ඇතුළත් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

මේ අතර රජයේ සමාගම් ලියාපදිංචි කිරීමේදී පෞද්ගලික නම් වලින් ලියාපදිංචි කිරීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්ද සාකච්ඡා විය. ඒ අනුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක පරිගණක පද්ධතිය තුලින්ම එම ගැටලුව නිරාකරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී. එමෙන්ම ආයතනයේ ක්‍රියාකාරිත්වයට බලපාන ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කරගැනීමට අවශ්‍ය නීති රීති සකසා ගැනීමට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්ත මේන්තුවේ පනත සංශෝධනය කරගැනීමටද කටයුතු කරන ලෙස සභාපතිවරයා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක, ගරු (ආචාර්ය)සුරේන් රාඝවන්, ගරු ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා, ගරු අශෝක් අබේසිංහ, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු වීරසුමන වීරසිංහ , ගරු ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි