ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වැවිලි සමාගම් විසින් අතැහර දමා වල් වැවී ඇති අක්කර දහස් ගනනක ඉඩම් වගාකිරීම සදහා අවට පදිංචි වැසියන්ට ලබාදීමට අවශ්‍ය නීතී සංශෝධන වහාම සකසන්න - පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව

දිනය : 2023-10-23

  • රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ රාජ්‍ය හිමිකාරිත්වයක් සහිත සංස්ථා, මණ්ඩල, කාර්යාංශ, අධිකාරී ඇතුළු ආයතනවල 2021 සහ 2022 වාර්ෂික වාර්තා එලඹෙන නොවැම්බර් 30 දිනට ට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නිර්දේශ
  • අජාතික සමාජ සංවර්ධන ආයතනය එහි අරමුණු ඉටුකරන විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳ කටයුතු සදහා කමිටුවක්

 

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ රාජ්‍ය හිමිකාරිත්වයක් සහිත සංස්ථා, මංඩල, කාර්යාංශ, අධිකාරී ඇතුළු ආයතනවල මෙතෙක් පාර්ලිමේන්තුට ඉදිරිපත් නොකරන ලද 2021 සහ 2022 වාර්ෂික වාර්තා එලඹෙන නොවැම්බර් 30 දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිලිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව අදාළ ආයතනවලට නිර්දේශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් උක්ත කාරක සභාව පසුගියදා (ඔක්. 17) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාව සහ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 2021 වර්ෂයයට අදාළ වාර්ෂික වාර්තාව සලකා බැලීම සිදුවූ අතර, එහිදී මෙම නිර්දේශ ලබා දීම සිදු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවය අනුව රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා නොවැම්බර් 30 ට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට අවශ්‍ය බැවින් අදාළ ආයතනවල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති ගරු ගාමිණී වලේබොඩ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මේ අතර, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව ඒකාබද්ධ කළ හැකි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතන පිළිබඳ කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙසත් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම, බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබා දී ඇති රජයේ සතු වතු සම්බන්ධවද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්කරන ලද අතර, වැවිලි සමාගම් විසින් අතැහර දමා වල් වැවී ඇති අක්කර දහස් ගනනක ඉඩම් වගාකිරීම සදහා අවට පදිංචි වැසියන්ට ලබාදීමට අවශ්‍ය නීතී සංශෝධන වහාම සකස් කරන ලෙස ද කාරක සභාව නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙයට අමතරව, ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්ව විද්‍යාලයක් ලෙස පරිවර්තනය කිරීමට අදාළ නව පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බව කාරක සභාවේ අනාවරණය විය. ඒ අනුව, වර්තමාන රැකියා ප්‍රවණතාවයන්ට ගැලපෙන ආකාරයට අලුත් උපාධි පාඨමාලා හතරක් සහ විවිධ පාඨමාලාවන් හඳුන්වා දීමට මේ තුළින් බලාපොරොත්තු වන බව නිලධරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

ආයතනයේ මූල්‍ය ස්ථාවරභාවය, අරමුණු හා පරමාර්ථ සමග ගැලපෙන අයුරින් මෙම ක්‍රියාවලිය සිදුවිය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව, ජාතික සමාජ සංවර්ධන ආයතනය එහි අරමුණු ඉටුකරන විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳ කටයුතු සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා අයවැය දෙපාර්තමේන්තුව යන අංශ නියෝජනය වන පරිදි පුළුල් කමිටුවක් පත් කර, ඒ පිළිබඳ කාරක සභාවට වාර්තා කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ගරු අසංක නවරත්න, ගරු (මහාචාර්ය) චරිත හේරත්, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු නිමල් ලන්සා, ගරු වසන්ත යාපාබණ්ඩාර සහ ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

2 11

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි