ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින්, ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට, සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගෙන් නිලධාරීන්ට උපදෙස්

දිනය : 2023-10-05

  • සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලසීමාවක ගුවන් යානා ප්‍රමාද වීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි - බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධාරණය කරයි

 

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට  සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ඔක්. 04) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

තවද, විවිධ අභියෝග පසුකරමින්, ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන්  පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන කාලසීමාවක ගුවන් යානා ප්‍රමාද වීම ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ වෘත්තීය සමිති  රාශියක් තිබෙන බවත්, විවිධ වෘත්තීය සමිති විසින් විවිධ ඉල්ලීම් හේතු කොට ගෙන සිය කාර්යභාරය නිවැරදි කාලසීමාව ඇතුළත ඉටු නොකරන බවයි. මේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව  ඇති බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ගුවන් යානා ප්‍රමාදය සහ අනපේක්ෂිත ලෙස ගුවන්ගමන් අවලංගු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

මේ අනුව පවතින ප්‍රශ්න විසඳගැනීමට සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බවත්, එය රටට හෝ රටේ ආර්ථිකයට බලපාන මට්ටම දක්වා වර්ධනය වන ලෙස කටයුතු නොකළ යුතු බවත් ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.

තවද, සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමද මෙහිදී සිදු වූ අතර එයට ආංශික අධීක්ෂණ කාරක සභාවේ එකඟත්වය හිමි විය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජිකයන වන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාරසිරි රත්නායක, ගරු උදයකාන්ත ගුණතිලක මහතා යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

1 5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි