ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ට බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නැවත කැඳවීමක් - වගකීම නිසිපරිදි ඉටු නොකිරීම පිළිබඳව කමිටුවේ දැඩි අප්‍රසාදය

දිනය : 2023-05-24

  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක් ද සාකච්ඡාවට
  • 2021 වසරේ මණ්ඩලයේ පාඩුව රු. මිලියන 3059 ක් -  2022 වසරේ ලාභය රු. මි. 485 ක්
  • රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්
  • විෂමාචාර ක්‍රියා සදහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන්  500ක ප්‍රමාණයට වැටුප් ගෙවීම ගැටලුවක්

 

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතුවල අවසන් තීරණයක් ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව ලබන පාර්ලිමේන්තු සතියේ කැදවන බව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ඊයේ (මැයි 23) පැවසීය.

එසේම මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් කොළඹ ප්‍රධාන බස්නැවතුමේ බස් රථ, ඊළග ගමන් වාරය එනතුරු නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමටත් මෙහිදී තීරණය විය.

බත්තරමුල්ල බස් අංගනයක් ඉදිරිකිරීම සදහා මීට පෙර මෙම කාරක සභාවට කැදවා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවිම පිළිබදව එම අධිකාරියට කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ විය.

එසේම බත්තරමුල්ල නගර සැලැස්ම තුළ බත්තරමුල්ල හන්දියට නුදුරු පොළ පිහිටි භූමියේ ඉඩමක් පිහිටියද මේ සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අප්‍රසාදය පළ කළේය. එම භූමිය බත්තරමුල්ල මංසන්ධියට නුදුරින් පිහිටි නිසා මාර්ග තදබදය ඇතුළු ගැටලු ඇතිවීමේ හැකියාව පවතින බව මෙහිදී එම නිලධාරිහු පැවසූහ.

එසේම මෙහිදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ 2021 වාර්ෂික වාර්තාවෙන් පැන නගින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක්ද මෙහිදී සාකච්ඡා විය. 8 ශ්‍රේණිය සමත් පුද්ගලයන් ඩිපෝ කලමනාකරුවන් බවට පත්ව ඇති බවත් ගණකාධිකරණ, තාක්ෂණික ඇතුළු අංශ ගණනාවක  තනතුරුවල ගැටලු රැසක් පවතින බව ද මෙහිදී හෙළිවිය. මැතිවරණයකින් අනතුරුව සුදුසුකම් නැති ඇතැම් වෘත්තීය සමිති නායකයන් ඩිපෝ කළමනාකාරීත්වය ඇතුළු ඉහල තනතුරුවලට පත්වන බැවින් දේශපාලන අතපෙවීම්වලින් මුදවා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය.

එසේම 2021 වසරේ කොවිඩ් අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය රු. මිලියන 3059 ක් අලාභ ලැබුවද  2022 වසරේ මණ්ඩලය රු. මි. 485 ක ලාභයක් වාර්තා කළ බවද මෙහිදී නිලධාරීහු පැවසූහ. වත්මන් ගැටලු අතර රියදුරු හා කොන්දොස්තර හිගය ප්‍රධාන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. දැනට  26 561 ක සමස්ත සේවක පිරිසක් සිටින බවද රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.  ඒ අනුව රජයේ අනුමතිය මත මෙම බදවා ගැනීම් සිදුකිරීමට කටයුතු සිදු කරන බවද නිලධාරීහු පැවසූහ.

එසේම විවිධ විෂමාචාර ක්‍රියා සදහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් දිවයින පුරා ඩිපෝ 107 ක 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මෙහිදී අනාවරණය විය. පරීක්ෂණ අවසන් කරන තුරු ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

ආයතනයේ වැ‍ටුප් තල ඉතා පහළ අගයක් ගැනීම නව බඳවා ගැනීම්වලට විශාල ගැටලුවක් බව නිලධාරීහු පෙන්වා දුන්හ.  වැටුප් සංශෝධන පිළිබදව පාර්ලිමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට ලක්විය යුතු කරුණු දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති ගරු නාලක කෝට්ටේගොඩ මහතා නියෝග කළේය.

එසේම ඉන්ධන භාවිතය සහ කළමනාකරණය පිළිබද දළ වාර්තාවක් ද කමිටුවට ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු යදාමිණි ගුණවර්ධන, ගරු උදයකාන්ත ගුණතිලක සහ ගරු කුමාරසිරි රත්නායක, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු රාජිකා වික්‍රමසිංහ සහ ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි, යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

3 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි