ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දරුවන් පිළිබඳ සිදුවීම්වලදී මාධ්‍ය විසින් දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

දිනය : 2022-11-15

දරුවන් පිළිබඳ සිදුවීම් මාධ්‍ය මගින් ප්‍රචාරයේදී දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට අදාළ  නීති  සකස් කිරීම සම්බන්ධයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (නොවැ. 10) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මිල්ලනිය ප්‍රදේශයේ පසුගියදා සිදු වූ සිද්ධියක් මුලික කරගනිමින් මාධ්‍ය විසින් දරුවන් නිරාවරණය කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඒ අනුව මෙසේ නීතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු විය.

එසේම ළමා අපරාධකරුවන් නිතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී අනෙකුත් වරදකරුවන්ට වඩා විශේෂ ක්‍රියාමාර්ගයක් භාවිතයට ගත යුතු බවත් නැතිනම් එය ළමයින්ගේ මානසික සෞඛ්යයට සහ ඔවුන්ගේ අනාගතය අහිතකර ලෙස බලපාන බවත් මෙහිදී තවදුරටත් සාකච්ඡාවට ලක් විය.

මීට අමතරව සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශය ශක්තිමත් කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා කාර්යාංශය වෙනුවෙන් වෙන් වූ කාමරයක් සහ ඊට අනුයුක්තව කටයුතු කිරීමට පොලිස් නිලධාරිනියන් සිව්දෙනෙකු පත් කිරීමට වහාම කටයුතු කළ යුතු බවට අවශ්‍ය නිලධාරීන් දැනටමත් දැනුවත් කර ඇති බව ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා කුමාරසිංහ මහත්මිය පෙන්වා දුන්නේය.

තවද, සමෘද්ධි ගෙවීම් ලබාදීමේ වැඩ පිළිවෙළ නැවතත් තැපැල් හා උප තැපැල් කාර්යාල හරහා සිදු කිරීමට අවශ්ය විධිවිධාන සකස් කිරීමේ අත්‍යාවශ්‍ය බව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙම කාරක සභාව සඳහා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස රාජ්‍ය අමාත්‍ය ගරු ශාන්ත බණ්ඩාර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වජිර අබේවර්ධන, ගරු බුද්ධික පතිරණ ගරු සංජීව එදිරිමාන්න, ගරු සම්පත් අතුකෝරල, ගරු වීරසුමන වීරසිංහ, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මධුර විතානගේ, ගරු මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා, ගරු මංජුලා දිසානායක, ගරු ගාමිණී වලේබොඩ සහ ගරු අනුප පස්කුවල් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

3 5

6

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි