ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ළමා ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ආයතන සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය

දිනය : 2022-11-15

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාකිරීමේ වැදගත්කම පිළිබඳව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු පසුගියදා (නොවැ. 08) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන විවිධ ආයතන මුහුණ දෙන අභියෝග හා ගැටලු හඳුනාගෙන අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන ඒවාට විසඳුම් ලබා ගැනීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහතික කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය යන ආයතනවල කටයුතු සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග සහ ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම් මෙහිදී සිදුකෙරුණි. මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

අදාළ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු, ගොඩනැගිලි අවශ්‍යතා, වාහන අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු පිළිබඳව එහි පැමිණි සිටි නිලධාරීන් අදහස් දැක්වූහ. ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරු 618 න් තනතුරු 284 ක් පුරප්පාඩු වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කර පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සංසදය උපදෙස් ලබා දුන්නේය.

මෙරට දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ප්‍රමාණවත් සෞඛ්‍ය රැකවරණයක් ලබාදීමට, පවතින සම්පත් හා නිලධාරීන් වඩාත් කාර්යක්ෂම කිරීම, ප්‍රජා පාදක විශෝධන, ළමා අපචාර සිද්ධීන් පිලිබඳ මාධ්‍ය වාර්තා කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිලිබඳව ද මෙහිදී සාකච්ජා විය. මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිනි ගරු රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය පැවසුවේ, මෙහි ඉදිරිපත් කර ඇති අදහස් හා ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සංසදය හමුවට කැඳවා විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, මුල් ළමාවිය අධ්‍යාපනය පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස්කර ඇති බව මෙහිදී අනාවරණය විය. මෙය පළාත් හා ජාතික වශයෙන් පවතින්නා වූ විවිධතා හා සමානතා සැලකිල්ලට ගනිමින් මුල් ළමාවිය අධ්‍යාපනය වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමට, නෛතික රාමුවක් තුළ සකස් කර තිබීම විශේෂත්වයකි.

තවද, 2019 දී සකසා අවසන් කරන ලද ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ළමා ආරක්ෂණ සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් (2023 - 2027) සකස් කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම රැස්වීමට, සංසදයේ උප සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ සහ ගරු වේලු කුමාර්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ගීතා කුමාරසිංහ සහ ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තලතා අතුකෝරල, ගරු චන්දිම වීරක්කොඩි, ගරු ජේ.සී. අලවතුවල, ගරු අශෝක් අබේසිංහ, ගරු මයන්ත දිසානායක, ගරු රජිකා වික්‍රමසිංහ, ගරු වීරසුමන වීරසිංහ, පාර්ලිමේන්තුවේ සහකාර මහා ලේකම් ටිකිරි කේ. ජයතිලක යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතන වල උසස් නිලධාරීන් සහභාගී විය.

තවද, අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සහ ගරු මුදිතා ප්‍රශාන්ති මහත්මිය සංසදයේ සභාපතිනියගේ අවසරය මත රැස්වීමට සහභාගි විය.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි