ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආහාර සුරක්ෂිතතාවයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාළ සියලු ආයතන සමන්විත කමිටුවක්

දිනය : 2022-11-11

මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට ඊයේ (නොවැ. 10) පැවති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

‍කෘෂිකර්ම  සහ ධීවර  අමාත්‍යාංශ මෙන්ම එම අමාත්‍යාංශ යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබූ අතර ආහාර සුරක්ෂිතතාවට අදාළ ඉලක්ක සපුරා ගැනීමට පවතින බාධා සහ ප්‍රතිපත්තීන් වෙනස් විය යුතු ආකාරය පිළිබඳව මූලික යෝජනා පිළිබද මෙහිදී සාකච්ඡා විය.

මෙම ආයතන වෙනම තම ඉලක්ක සපුරා ගැනීමට උත්සහ කිරීම වෙනුවට සියලු ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

මේ අනුව කෘෂීකර්ම සහ ධීවර යන අමාත්‍යාංශවලට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන සමග ඒකාබද්ධව මෙම ප්‍රතිපත්ති සැලසුම් කරන ලෙසද වැඩිදුරටත් කමිටුව උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර ව්‍යවසායකත්වය සහ ආයෝජන දිරිමත් කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද විශේෂ සාකච්ඡාවක්  ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  පැවැත්විණි.

මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි. මෙම සියලු ආයතන ඒකාබද්ධව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ප්‍රතිපත්ති සම්පාදනය  සදහා කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය විය. ව්‍යවසායකයා අගය කිරීමට ලක්වන සහ  ව්‍යවසායකත්වය දිරිගන්වන සංස්කෘතියක්  ඇති කිරීමේ අවශ්‍යතාව ඇතුළු මූලික කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී අවධානය යොමු විය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, සාගර කාරියවසම් සහ සුදත් මංජුල යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි