ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නාන කාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනයට අනුමතිය ලබා දීම පාරිභෝගිකයාට කරන අසාධාරණයක් - රජයේ මුදල් කාරක සභාවේ අවධානයට

දිනය : 2022-11-02

  • දේශීය සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය සහ ඊට අදාළ ව්‍යාපාර ක්ෂේත්‍රය නියෝජනය කරන බාහිර පාර්ශවයන්ගේ අදහස් දැක්වීම ප්‍රථම වතාවට කමිටුව හමුවට…
  • පසුගිය වසර දෙක තුළ සහල්, බඩ ඉරිඟු ඇතුලු අනෙකුත්  ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ප්‍රමාණයන් තීරණය කළ ආකාරය පිළිබඳ හේතු දක්වමින්  වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිර්දේශ…
  • 2023 වර්ෂය සඳහා විසර්ජන පනත සාකච්ඡාවට...

 

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබා දීමට ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බවත්, මේ සඳහා අනුමතිය ලබා දීම මගින් පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවනවාද යන්න පිළිබඳව සැලකිල්ලට බඳුන් කළ යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් විය.
    
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ  (නොවැ. 01) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම ගැසට් පත්‍රය මගින් උක්කුටික පෝච්චි (Squatting pans), සොරොව් බේසම් (sink), ඇතුළු නාන කාමර උපාංගයන් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබිණි. තවද,  එම ගැසට් පත්‍රය මගින්ම  ටයිල් ආනයනය තහනම් කිරීම හරහා වෙළඳපොළ  තුළ ඇතිව තිබෙන ඒකාධිකාරිය හා ආනයනය නවතා තිබෙන වාතාවරණයක් තුළ ටයිල් ඇතුළු නාන කාමර උපාංගයන්හී මිළ පාරිභෝගිකයාට අසාධාරණයක්  වන පරිදි ඉහළ යාම මෙන්ම  ඉල්ලුමට අනුව සැපයුම නොමැති වීම පිළිබඳවද කමිටු සාමාජිකයන්ගේ අවධානයට ලක් විය. ඒ අනුව, මේ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශයට කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

2298/55 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද මෙහිදී සළකා බැලුන අතර ඊට අදාළ ගැසට් පත්‍රයට‍ අනුමතිය ලබා දීම සිදුවිය. මෙම ගැසට් පත්‍රය මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වල වටිනාකම මත පදනම්ව ඔවුන්ට විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබා දීම සිදුවේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් 2297/79 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පිලිබඳවද මෙහිදී  සලකා බලන ලදී. මෙමගින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා වූ කාලය දීර්ඝ කිරීම සිදුවේ.

මෙහිදී, පසුගිය වසර දෙක තුළ සහල්, බඩ ඉරිඟු ඇතුලු අනෙකුත්  ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ප්‍රමාණයන් තීරණය කළ අකාරය පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.

තවද ප්‍රමාණයට වඩා සහල් ගෙන්වා එය මිශ්‍ර කොට විකිණීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අවධානය යොමු කරන ලද අතර, සත්ත්ව අහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය ගැටලුකාරී තත්ත්වයක් වන බැවින් බිත්තර සහ කුකුළු මස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් මිළ ඉහළ යාම පිළිබඳවද සාකච්ඡා විය.

මෙම තත්වයන් පිළිබඳ විමසීමේදී, ඒ හා සම්බන්ධ කිසිඳු  දත්තයන් මත පදනම් වූ තොරතුරු නොමැති වීම පිළිබඳව කමිටුව සිය නොසතුට පල කළ අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි දත්ත ඇතුලත් වාර්තාවක් මාස 02ක කාලයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස අදාළ බලධාරීන් හට නිර්දේශ කරන ලදී.

තවද, 2023 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත රජයේ මුදල් කාරක සභාවේදී සාකච්ඡා කරනු ලැබූ අතර මෙවර ඉදිරිපත් කරනු ලබන ඇස්තමේන්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කෙතරම් සුභවාදී දැක්මකින් යුක්ත ද යන්න පිළිබඳව කමිටු සමාජිකයන් ප්‍රශ්න කළහ. මෙහිදී කමිටුව විසින් මෙවර අයවැය තුළ අඩු අදායම්ලාභින්  පිළිබඳව වැඩි අවධානයක් යොමු විය යුතු බවට සාකච්ඡා විය.

මෙම රජයේ මුදල් කාරක සභා රැස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා, රාජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය සුරේන් රාඝවන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා , චන්දිම වීරක්කොඩි මහතා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, මධුර විතානගේ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

34

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි