ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

දිනය : 2022-10-26

දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ඔක්. 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බෙහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීන්වල නොයෙදෙන බවත්ය. නමුත් මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවන්ගෙන් නොපෙළෙන බවද මේ නිසා නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ වන විටත් පොලිස් සේවයේ සිටින බවයි. මෙහිදී අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා උපදෙස් දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යාංශයට  යොමු කරන ලෙසයි. ඒ අනුව ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

එසේම මෙම වසරේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරීන් 16000 ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය.

තවද පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව වාර්තා වී ඇති සිද්ධි පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. එසේම අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය.

එසේම අන්තරායකාරක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන වල වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ශාන්ත බණ්ඩාර, ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මධුර විතානගේ, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු චන්දිම වීරක්කොඩි, ගරු චින්තන අමල් මායාදුන්න, ගරු ඩී. වීරසිංහ, ගරු අසංක නවරත්න, ගරු (වෛද්‍ය) ගයාශාන් නවනන්ද සහ ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.

 

12

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි