ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් කාරක සභාවේදී සළකා බැලේ

දිනය : 2022-10-25

අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා  සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (ඔක්. 20) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අදාළ ගැසට්පත්‍ර පිළිබද සිදුකළ විශ්ලේෂණයකින් අනතුරුව මෙම අනුමතිය ලබා දීම සිදුවිය.

මේ අනුව 2005 අංක 6 පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත යටතේ නියමය සදහන් 2282/26 දරන ගැසට් පත්‍රය සදහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.  එකතුකළ අගය මත බද්ද (VAT) 12% දක්වා වැඩි කිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබිණි.

2277/62 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් සුරාබදු ආඥා පනත යටතේ නියමය ද මෙහිදී සළකා බැලිණි. රා ලීටරයක් වෙනුවෙන් රු. 50 ක බද්දක් අයකිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය පනවා තිබූ අතර අදාළ ගැසට් පත්‍රයට‍ අනුමතිය ලබා දීම සිදුවිය.

අංක 2272/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය කාරක සභාවේ සළකා බලකා අනුමතිය  ලබා දීමද සිදුවිය. රත්මලාන ගුවන් තොටුපළේ සිට පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම අයකරන ගාස්තුව ඇ.ඩො. 30 දක්වා අඩුකිරීම ‍සදහා මෙම ගැසට් පත්‍රය පළ කර තිබිණි.

මේ අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2296/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝගය මෙහිදී සළකා බැලුණු අතර  2021 ජූනි 30 දින පළ කළ අංක 2234/19 ගැසට් පත්‍රයේ නියෝගවල සදහන් මාස 24ක කාලය මාස 36 දක්වා වැඩි කිරීම එහි අරමුණයි. ‍

1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන යටතේ පළ කළ අංක 2296/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝගයේ සදහන්ව තිබූ උක්කුටික පෝච්චි (වැසිකිළි පෝච්චි) ආනයනය සදහා තාවකාලික තහනමක් පැනවීම සම්බන්ධයෙන්  කාරක සභාවේ විශේෂ සාකච්ඡාවට ලක්විය. කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිර්දේශිත පරිදි  දේශීය නිෂ්පාදන සදහා වෙළඳපොළ පුළුල් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එහෙත්  මෙම භාණ්ඩ ආනයනය සදහා වැයවී ඇති විදේශ විනිමය සාපේක්ෂව අඩු අගයක පවතින බැවින් ද වෙළදපොළ මෙම භාණ්ඩ හිගකම මෙන්ම මිල ඉහළවීම සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි බැවින් ද  ආනයන පාලනය කිරීම සුදුසු නොවන බවට කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව මේ පිළිබදව ඉදිරි රැස්වී‍මකදී තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.

මෙම ගැසට්පත්‍ර අනුමතිය සදහා යොමු කිරීම කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කාරක සභාව අදාළ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි