ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට විදුලි ගාස්තු ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීම ආයෝජන දිරි ගැන්වීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් - ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ

දිනය : 2022-10-20

මෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීම‍ට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.

එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කළ යුතු බවටද මෙහිදී අදහස් පළ විය.

මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 19) රැස්වූ අවස්ථාවේදීය.

රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ සිදුකොට ඇති පර්යේෂණ ගණනාවක් පිළිබඳවද විද්වතුන් විසින් සිය අදහස් ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 87 ඉන්ධන භාවිත කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය.

වර්තමානයේ රටතුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය වඩා ඵලදායීව සහ කාර්යක්ෂමව දායක කරගැනීම පිළිබඳ ඉදිරිපත්වූ අදහස් සහ යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළහැකි බවත් මෙහිදී සභාපතිවරයා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනුර විජේපාල, ‍මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය දිමන්ත ද සිල්වා යන මහත්වරු රටතුළ පවතින විදුලිබල හා බල ශක්ති අර්බුදය ගැන මෙන්ම ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම සඳහා ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,  ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.   

මෙම රැස්වීමට අමාත්‍ය ගරු කන්චන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර ‍අබේවර්ධන සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි