ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්, එසේ කිරීමට තීරණ ගන්නා ලද නිලධාරීන් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමේ බලතල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා

දිනය : 2022-10-19

•    කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා කෙරේ...

 

රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන් එසේ රජයේ මුදල් අවභාවිත කිරීමට තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමට සහ ඔවුන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කොට දඩුවම් පැමිණවිය හැකි වන පරිදි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ බලතල පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා කරයි.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්. 18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව සඳහා විද්වත් අදහස් ලබා ගැනීම සඳහා පැවති රැස්වීමට අදහස් දැක්වීම සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි.

එහිදී මෙරට විධායක ජනාධිපති ක්‍රමයට අදාළ සංශෝධන, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ සංශෝධන, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ඉදිරිපත් කරන ලදී.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කිරීම සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත්  සංශෝධනය වීමේ අවශ්‍යතාවද දීර්ඝ ලෙස අනුකමිටුවේදී සාකච්ඡා වූ අතර එමගින් වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකීරීම අත්‍යාවශ්‍ය සාධකයක් බවද එම සංගමය පෙන්වා දුන්නේය.

එහිදී සභාපතිවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට දැනුම් දුන්නේ රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීමට අදාළ කෙටි කාලීන සංශෝධන යෝජනා සති දෙකක කාලයක් ඇතුළත කමිටුව වෙත ඉරිපත් කරන ලෙසයි.

ජාතික සභාව හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ හැකි බවද අනුකමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාතික ප්‍රතිපත්තියක සිට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් ඉක්මනින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉටුකළ හැකි බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු සාගර කාරියවසම් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

34

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි