ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණයි - ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ

දිනය : 2022-10-18

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණක් බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අද අනාවරණය විය.

මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (ඔක්. 18) රැස්වූ අවස්ථාවේදීය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාවය, අස්වැන්නේ ඉදිරි අඩුවීම, මන්දපෝෂණ තත්ත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජීය අතුරුඵල ආදිය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රටේ ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම කමිටුව විසින් මීට පෙර සිදු කරන ලදී.

විශේෂයෙන් වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් ‍මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය වහාම සිදු කරන ලෙසයි. මෙම අදාළ සමීක්ෂණය 2019න් පසු සිදු කොට නොමැති බවද සභාපතිවරයා දැනුම් දුන්නේය. එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරදි තොරුතුරු ලැබෙන බවත් එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙල සැකසීමේදී ඉත‍ා වැදගත් වන බවද රණවක මහතා සඳහන් කළේය.

රට තුළ බදු වැඩි කිරිම් ආදී ක්‍රියාමාර්ග මගින්  ආදායම් වැඩි කළද එහි අතුරු සමාජීය ප්‍රතිඵල  ලෙස කර්මාන්ත පවත්වා ගැනීමේ ගැටළුව, රැකියා අහිමිවීම් සහ පෝෂණය තත්ත්වයන් පහත වැටීම වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම පුද්ලයෙකුගේ ජීවිතයේ මුල් දින 8000 නිසි පෝෂණ තත්ත්වයෙන් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා පවතින ආහාර නිසි සුරක්ෂිතතාවෙන් යුතුව පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් පළ විය.    

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති, කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි, රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර, ආහාර කොමසාරිස් උපුල් ශාන්ත අල්විස් මහතා, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ සහ ජාතික පොහොර  ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.   

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාරන්තන් සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.

 

1

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි