ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට අවධානය

දිනය : 2022-10-14

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ

 

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඒවා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීමත් විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරිණි.

ඒ නිසා මෙරට ජනතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යාවශ්‍යම ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගත සමයේ පැවති ආකාරයේ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

මෙම අදහස් පළ වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව මෙරට ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම සඳහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (ඔක්. 14) රැස්වූ අවස්ථාවේදීය.

එමෙන්ම මෙරටට ඖෂධ ආනයනය කිරීම හා බෙදාහැරීම පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විශාල කාලයක් ගත වන සහ විධිමත් සම්බන්ධීකරණයක් නොමැති එකක් වීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ කෙරිණි. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ මනා සම්බන්ධීකරණයක් සහිතව සිදු කිරිම සම්බන්ධව විද්වතුන් විසින් සිය අදහස් සහ යොජනා කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

රෝග වලක්වා ගැනීම සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රත්‍යක්ෂ ඖෂධ භාවිත කිරීමේ හැකියාව පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. එයට අමතරව ලංකාවේ වැඩිපුරම ඖෂධ භාවිත කරන හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ අධි කොලෙස්ටරෝල් තත්ත්වය වැනි රෝග අවම කිරීම සඳහා භාවිත කළ හැකි ආහාර සහ විකල්ප දේශිය ඖෂධ ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

දේශීය ඖෂධ නිෂ්පානයේදී මතුව ඇති ගැටළු සම්බන්ධවද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික සහ ජාතික වසංගත රෝග විද්‍යායතනයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙහිදී සිය විශේෂඥ දැනුම කමිටුව වෙත ලබා දුන්හ.

එමෙන්ම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, ආයුර්වේද කොමසාරිස් එම්.ඩී.ජේ. අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කමල් පෙරේරා මෙන්ම රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සිය අදහස් ඉදිරිපත් කළහ.   

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ගරු වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීහු සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාද එක්ව සිටියහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි