ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට අදාළව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ විමසුමට ලක් කරති

දිනය : 2022-10-10

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ අන්තර්කරණයේ දෘෂ්ටිකෝණයෙන්  විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පසුගියදා (ඔක්. 06) විමසුමට ලක් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (06) රැස්වූ අවස්ථාවේ මෙම සමාලෝචනය සිදුවිය.

පනත් කෙටුම්පතේ ප්‍රධාන සංශෝධන පිළිබද කාරක සභාවේ අවධානයට ලක්වූ අතර 22 වැනි සංශෝධනය මගින් ස්ථාපනය කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ කාන්තා නියෝජනය සහතික කිරීම සදහා කිසිදු සංශෝධනයකින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සලකා බැලූ කෝටාවක් (වෙන් කළ ආසනයක හෝ වෙනත් ආකාරයකින්) ප්‍රදානය කර නොමැති බව සාමාජික මන්ත්‍රීවරියෝ මෙහිදී පෙන්වා දුන්හ. එසේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ අන්තර්කරණය සම්බන්ධයෙන් රටේ දේශපාලන හා සමාජ රාමුව සැලකිය යුතු අන්දමක වෙනසක් ඇති කරන විධිවිධාන කිසිවක් පනත් කෙටුම්පතෙහි අන්තර්ගත නොවන බව සංසදයේ අදහස විය.

මේ අනුව කොමිෂන් සභා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු තීරණ ගැනීමේ ආයතනවලට කාන්තාවන් අන්තර්ගත කිරීමට නව කෝටාවක් ඇතුළත් සංශෝධන සිදුකළ යුතු බව මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කථානායක හෝ නියෝජ්‍ය කථානායක තනතුරට පත් කිරීම සදහා කෝටාවක් ස්ථාපිත කිරීමටද මෙහිදී නිර්දේශ කෙරිණි.

සියවස් ගණනාවකට පෙර ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා පහත් කොට සලකන ලද අවධියක පැවති යල්පැනගිය පැරණි නීති පවතින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව යටතේ ඇති විධිවිධාන ආරක්ෂා කිරීමට 16 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද මෙහිදී සංසදය නිර්දේශ කර ඇත.

ගරු තලතා අතුකෝරළ, ගරු රෝහිණී විජේරත්න, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරියෝ ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි