ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආයෝජන මණ්ඩලය නිසි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

දිනය : 2022-10-04

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් ඊයේ (ඔක්. 03) අනුමතිය හිමි නොවූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට අද ‍(ඔක්. 04) පෙරවරුවේ රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

අද පෙ.ව. 9.00 පමණ වන විට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට ඊයේ දන්වා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද (04) පෙ.ව. 9.00ට රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අතර ආයෝජන මණ්ඩලය අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබද සලකා බලා අදාළ අනුමතිය ලබා දෙන ලදී.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සදහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.

ගැසට් පත්‍රයට මෙහිදී අනුමතිය ලබා දුන්නද ආයෝජනය සිදුකරන සමාගමට බදු සහන වසර 17ක කාලයක් ලබා දීමේ පදනම කුමක්ද යන්න නිවැරදිව විශ්ලේෂණය කළ යුතු බවත් ආයෝජනයේ ප්‍රමාණය අනුව මෙම ලබා දෙන බදු සහන තීරණය කෙරෙන නිසි ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් විය යුතු බවත් කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, ආචාර්ය  සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි