ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවේ

දිනය : 2022-10-03

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට (ඔක්. 04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි නොවිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද (03) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සඳහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහිදී  ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමතිය ලබා දිය නොහැකි බවත් පැවසීය.

මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබද දත්ත තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය. රටක ආර්ථික ප්‍රගමනය සදහා පවතින ප්‍රධානතම ආයතනයක් වන ආයෝජන මණ්ඩලය  මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද කාරක සභාව මෙහිදී පැවසීය.

මේ අනුව හෙට පෙ.ව. 9.00 පමණ වන විට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිනම් අදාළ ගැසට් පත්‍රයට අනුමතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද පැවසීය.

මේ අතර හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19  දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයට සහ  1969 අංක 1 දරන  ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සදහන් නියමයන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

රාජ්‍ය අමාත්‍යයරුන් වන  සුරේන් රාඝවන්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි