ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කාර්යභාරය පුළුල් කිරීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් උපදෙස්

දිනය : 2022-09-21

  • ලොව බොහෝ රටවල මෙන් මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බදවාගැනීමට පියවර...

 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල  මෙහෙයුම් කටයුතු පුළුල් කරමින්  කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් දැනටමත් රාජකාරී කරන අතර ඉදිරියේදී වැඩි වශයෙන් බදවා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවන සභාවාරයට අදාළව ඊයේ (20) පැවැත්වූ පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේබව පැවසීය.

ලබන 22 වැනිදා අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ  නියෝගය සදහාද කාරක සභාවේ එකගත්වය හිමිවිය. 2018 වසරේ ජූලි 3 වැනි දින අංක 2078/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත සිවිල් ගුවන් සේවා (සේවක පිරිස් සහ පුහුණු කිරීමේ ආයතන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ) නියෝගයන් හි මුද්‍රණ දෝෂයක් නිවැරදි කිරීම මෙහි අරමුණයි.

(සීමාසහිත) ජය කන්ටේනර් ටර්මිනල්ස් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව යන ආයතනවල නිලධාරීහු එම ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළහ.

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ශාන්ත බණ්ඩාර,  ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සරත් වීරසේකර, ගරු එම්.එස්. තව්ෆීක් සහ ගරු ෆයිසාල් කාසිම් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 

1

2

4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි