ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය

දිනය : 2022-09-17

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පසුගිය (16) වැනිදා හිමි විය.

මේ සඳහා එකඟතාවය හිමි වූයේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙම පනත් කෙටුම්පත 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. මේ අනුව ලබන 22 වැනිදා  ශ්‍රි ලංකා රූපවාහිනි  සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත.

මීට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සහ ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රේණිගත කිරීමේ වාර්තාවලින් ඉදිරියට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම විවිධ මාධ්‍ය ආයතන මගින් යම් යම් ප්‍රවෘත්ති විකෘති කර ප්‍රචාරය කිරීම පිළිබඳවත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ශාන්ත බණ්ඩාර, ගරු කණක හේරත්, ගරු සිරිපාල ගම්ලත්, ගරු ගීතා කුමාරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්. එම්. මරික්කාර්, ගරු සංජීව එදිරිමාන්න, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු අසංක නවරත්න, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු සුමිත් උඩුකුඹුර, ගරු මධුර විතානගේ, ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි