‘කෝප්’ කමිටුවට කැඳවන නිලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් දිවුරුමක් ලබා ගැනීමට විශේෂ ‘කෝප්’ කමිටු රැස්වීමේදී තීරණය කරයි

දිනය : 2022-06-21

Print

කෝප් කමිටුවට කැඳවන නිලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කමිටුව ආරම්භයේදීම දිවුරුමක් ලබා ගැනීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රැස් වූ විශේෂ කෝප් කමිටු රැස්වීමේදී අද (21) තීරණය කළේය.

මේ අනුව ඉදිරියේදී කෝප් කමිටුවට පැමිණෙන නිලධාරීන් කෝප් කමිටුව ආරම්භයේදීම තමන් සිදු කරන ප්‍රකාශ නිවැරදි බවට දිවුරුමක් ලබාගැනීම සිදු වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විශේෂ තීරණ කිහිපයකට එළඹීම සිදු විය.

2022.06.10 වැනි දින කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස සිටි එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කොට ඇති 2022.06.11 දිනැති ලිපිය කෝප් සභාපතිවරයා විසින් අද දින සභාගත කිරීම සිදු කළේය.

එහිදී කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ “2022 .06.11 දින විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා විසින් කොප් කමිටුව වෙත යොමු කරන ලද ලිපිය අද සලකා බැලුවා. ඒ ලිපිය ප්‍රකාරව වැදගත් සාකච්ඡාවක් සිදුවුනා. මේ ලිපියේ අද ගත් කරුණු කිහිපයත් එයට උපග්‍රන්ථ ලෙස ඉදිරිපත් කරලා තියෙන ලියුමත් අද අවධානයට ලක් වුනා. ඒ අනුව කෝප් කමිටුවේ තිරණය වන්නේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමඟ සාකච්ඡා කිරීමටත් ඒ හරහා මේ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තීරණයක් ගැනිමටත් එතුමා විසින් ඉල්ලා තියෙන තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය ඊටපසුව ගැනීමටත් අපි (කෝප් කමිටුව) තීරණය කළා.” යනුවෙනි.

ඒ අනුව එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා 2022.06.23 වැනිදින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තීරණය විය.

එසේම ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශේෂඥ වාර්තා පදනම් වූ විශේෂ රැස්වීමක් ජූලි මස 25 දින පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.

කෝප් කමිටුවේ මෙම විශේෂ රැස්වීම සඳහා සාමාජික මන්ත්‍රීවරයන් වන ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ජගත් පුෂපකුමාර, ගරු අනුර දිසානායක, ගරු හර්ෂ ද සිල්වා, ගරු පාඨලී චම්පික රණවක, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු සරත් වීරසේකර, ගරු ජයන්ත සමරවීර, ගරු එස්.එම්. මරික්කාර්, ගරු නලීන් බණ්ඩාර ජයමහ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු නාලක ගොඩහේවා, ගරු එරාන් වික්‍රමරත්න, ගරු මධුර විතානගේ සහ ගරු ප්‍රෙම්නාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

3