රටේ ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටුවීමට ‘කෝපා’ කමිටුවෙන් යෝජනා |
දිනය : | 2022-06-20 |
|
රට තුළ පවත්නා ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වී ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පිහිටුවිය යුතු බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී තීරණය විය. පවත්නා ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගකිවයුතු ආයතන සියල්ල ඒකරාශි කර ගනිමින් ඉක්මන් තීන්දු තීරණ ගැනිම සහ ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කමිටුව පිහිටුවීම වැදගත් වන බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.
මෙම තීරණය ගනු ලැබුවේ කෝපා කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (10) රැස්වූ අවස්ථාවේදීය. ආහාර අර්බුදය පිටුදැකීම සඳහා සාර්ක් ආහාර බැංකුව (SAARC Food Bank) සහ ලෝක ආහාර වැඩසටහනේ (World Food Program) සහයෝගය ලංකාවට ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි.
රජය රට තුළ ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමෙන් ඉවත්වීම මත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දැරිය නොහැකි තරම් ඉහළ යාම පිළිබඳ කෝපා කමිටු සභාපතිවරයා විසින් දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලදී. වෙළඳපොළේ පවතින ආහාර ද්‍රව්‍යවල මිල අධික බැවින් රජයේ මැදිහත්වීම මත සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ හැකියාව සොයාබලන ලෙසද කෝපා කමිටු සභපතිවරයා දැනුම් දුන්නේය. මේ අනුව ආහාර කොමසාරිස් දේපාර්තමේන්තුව, ලංකා සතොස සමාගම, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සහ විවිධ සේවා සමූපකාර සමිති හරහා අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් ආහාර සැපයීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි.
මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස, රුසියානු සහ යුක්රේන යුද්ධය ලෝකයේ තිරිඟු නිශ්පාදනය, බඩඉරිඟු නිශ්පාදනය මෙන්ම පොහොර නිශ්පාදනයද අර්බුදයට ලක්වීම හේතුවෙන් ඛණිජ තෙල් මිල ඉහළ යාම නිසා ආහාර නිශ්පාදනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. මෙම තත්ත්වය තුළ ලංකාවේ පසුගිය කාලයේ ඇතිවූ පොහොර අර්බුදය සහ විදේශ විනිමය සංචිත වල හිගකම සහ කෘමිනාශක භාවිතය සම්බන්ධයේන් ප්‍රතිපත්තිමය අර්බුදයක් ඇතිවීම යන කරුණු මත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල නිශ්පාදනය පහත වැටී ඇති බවයි. ශ්‍රී ලංකා රේගුව හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ දත්ත අනුව වෙළඳ අමාත්‍යාංශය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස සම්බා සහල්, නාඩු සහල්, කැකුළු සහල්, සීනි, රතු ඇට පරිප්පු, තිරිඟු පිටි (ඇට), ලොකු ළුූණු, අර්තාපල්, ටින් මාළු, කිරි පිටි, වියලි හාල්මැස්සන්, වියලි මිරිස්, කඩල, කුකුළු මස්, මාළු, බිත්තර යන ආහාර වර්ග 16 ක් හදුනාගෙන තිබේ.
මෙහිදී මෙම වර්ෂයේදී රටතුළ යල කන්නයේ සහ මහ කන්නයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිශ්පාදන ප්‍රමාණය සහ රටෙහි අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණය පිළිබඳව නිලධාරින් විසින් කරුණු දක්වන ලදී. මෙහිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේ නව රජය යටතේ මේ පිළිබඳ පිහිටුවා ඇති ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වන බවයි. එහිදී ලේකම්වරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඉදිරි ජනවාරි මාසය තෙක් රටෙහි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ අනෙකුත් ශක්තිජනක අවශ්‍යතා ඉටු කර ගන්නා ආකාරය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට ඇති බවයි. එය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස ඊමේල් මගින් එවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (මහාචාර්ය) ගරු රංජිත් බණ්ඩාර, ගරු තිස්ස අත්තනායක, ගරු උදය ගම්මන්පිල, ගරු ලසන්ත අලගියවන්න, ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය, ගරු නිරෝෂන් පෙරේරා, ගරු ප්‍රසන්න රණවීර, ගරු වීරසුමන වීරසිංහ, සහ කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, සතොස ආයතනය ඇතුළු ආයතන ගණනාවකට අයත් නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.