මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ලබන සතියේ මුදල් කාරක සභාව හමුවට |
දිනය : | 2022-05-20 |
|
වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට ලබන සතියේ කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (19) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.
තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් 2022 අංක 6 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි සදහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය අද හිමිවිය.
ආනයන පාලන බලපත්‍රවලට යටත් කරන ලද භාණ්ඩ ආනයනය සදහා වැයවන මුදල් දේශීය කර්මාන්ත සහ අපනයනවලට බාධා නොවන ලෙස ඉතිරි කර ගැනීම මෙම ගැසට් පත්‍රය හරහා සිදුවනු ඇත.
මේ අනුව තෝරා ගන්නා ලද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අතුරින් භාණ්ඩ 369ක් ආනයනය කිරීම සදහා ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතා පැනවීමේ යෝජනාව බලාත්මක කිරීම පිණිස රෙගුලාසි පනවා 2022.04.09 දිනැති අංක 2274/42 දරන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදී. 2022 අප්‍රේල් 10 වැනි දින හෝ ඊට පසු දිනකදී නැව් හෝ ගුවන්ගතකළ භාණ්ඩ ආනයනයේදී මෙම රෙගුලාසි අදාළ වේ.
අත් ඔරලෝසු හා ඔරලෝසු, විදුලි සංදේශ උපකරණ සහ කොටස්, කිරි නිෂ්පාදන, මද්‍යසාර, රූපලාවන්‍ය නිෂ්පාදන, ඉටිපන්දම්, ලාම්පු සහ ආලෝක උපාංග, පළතුරු, රබර් නිෂ්පාදන (ටයර් සහ මකන) , විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික අයිතම යන කාණ්ඩවලට අයත් භාණ්ඩ ආනයනය සදහා සාපේක්ෂව වැඩි පිරිවැයක් දරා ඇති බවත් එය මුළු ආනයන පිරිවැයෙන් 84%ක ප්‍රමාණයක් බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම භාණ්ඩ ආනයනය සදහා පසුගිය වසර 3ක කාලය තුළ සාපේක්ෂව වැය කරන ලද ඇ.ඩො. මිලියන 512 ක පමණ ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කර්මාන්ත සහ අපනයනවලට බාධා නොවන පරිදි ඉතිරිකර ගැනීම මේ හරහා අපේක්ෂා කෙරේ.
අමාත්‍ය ගරු කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඉන්දික අනුරුද්ධ, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු මුජිබර් රහුමාන්, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු නලින් ප්‍රනාන්දු, ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර සහ (ආචාර්ය) සුරේන් රාඝවන් යන මහත්වරු ද ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.