අක්‍රීය තත්ත්වයේ ඇති රු. බිලියන 54ක ණය මුදල් ලබා දුන් ආකාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන්න - “කෝප්” කමිටුව මහජන බැංකුවට නිර්දේශ කරයි |
දිනය : | 2022-05-05 |
|
පෞද්ගලික අංශයේ විවිධ සමාගම්වලට ලබා දී ඇති දැනට අක්‍රීය තත්ත්වයේ පවතින රු. බිලියන 54 කට ආසන්න ණය මුදල් ලබා ගෙන ඇති ආයතන, ඒ සඳහා ඇගයීම් කළ ආකාරය සහ අනුමැතිය ලබා දීම සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් ඇතුළු කරුණු පිළිබඳ පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන මෙන් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට ඊයේ (04) නිර්දේශ කළේය. එසේම ඉදිරියේදී මෙම තොරතුරු ඉදිරි කෝප් වාර්තාවේ ප්‍රකාශයට පත්කරන බවද කෝප් සභාපතිවරයා පැවසීය.
ඒ මහතා මෙම නිර්දේශය ලබා දුන්නේ 2018, 2019 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මහජන බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) ඊයේ (04) කැඳවූ අවස්ථාවේදීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට ඇතැම් අවස්ථාවලදී බැංකු ණයක් ලබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන පසුබිමක, ගෙවීමට ශක්‍යතාවක් නොමැති හෝ ප්‍රමාණවත් පිරිදි දේපළ ඇපයට තබා ගැනීමකින් තොරව ඇතැම් සමාගම්වලට රු. බිලියන 2, 3, 4 යනාදී ප්‍රමාණවල විශාල ණය ලබා දී ඇති බව නිරීක්ෂණය වන බැවින් මේවාට අනුමැතිය කුමන ආකාරයකින් ලැබුණිද යන වග හෙළි කළ යුතු බව කමිටුවේ මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ. එසේම ඉදිරියේදී ණය ලබා දෙන විට වඩාත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එය සිදුවිය යුතු බවත් ජාතික ධනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු 2019 වසරේදී විශ්‍රාම ගන්නා විට භාවිත කළ වාහනය ඉතා අඩු වටිනාකමකට පවරාදීම පිළිබඳව මෙහිදී කමිටුවේ අවධානය යොමු විය. 2015.04.27 වන දින රු මිලියන 16.6 කට මිලදී ගෙන ඇති මෙම මර්සීඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2019 වසරේදී රු. 113,698 ක මුදලකට හිටපු සාමාන්‍යාධිකාරීවරයාට පවරා ඇති බව ද මෙහිදී අනාවරණය විය. බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා වසරකට වඩා කාලයක් භාවිත කළ වාහනයක් මෙලෙස පවරා දීම සාමාන්‍යයෙන් සිදුවන බවත් භාවිතා කළ කාලය අනුව ක්ෂය වීම සළකා වෙළදපල වටිනාකම අනුව මෙම මිල තීරණය කොට ඇති බවත් බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා මෙහිදී පැවසුවේය.
මෙහිදී කමිටුව විමසා සිටියේ රු. මිලියන 16 කට ආසන්න මුදලකට මිලදී ගත් වාහනය රු. එක් ලක්ෂ දහතුන් දහසකට ආසන්න මුදලකට පවරාදීම සිදුවූයේ කෙසේද යන්නයි. මේ වන විට බැංකුවේ වාහන පවරා දීමේ මෙම ප්‍රතිපත්තිය වෙනස් කොට ඇති බවත් සාමාන්‍යාධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධුරයේ වසර 25 කට වැඩි සේවා කාලයක් ඇති අය සඳහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසුවේය.
මෙලෙස ජාතික ධනය වැය කිරීම පිළිබඳ නැවත සිතා බැලිය යුතු බවත් අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් දැනට සිදුකරන මෙම ක්‍රියාවලිය විශේෂ අවසරයක් යටතේ පමණක් සිදුකළ යුතු බවත් පෙන්වා දුන් කෝප් සභාපතිවරයා මෙම තත්ත්වය සඳහා වහා මැදිහත්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය. ඒ අනුව ලේකම්වරයා යටතේ ඇති බැංකු පද්ධතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධව මාර්ගෝපදේශයන් සකස්කරන ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා ලෙසත් නිර්දේශ කළේය.
මේ අතර දත්ත ගබඩා කිරීම සඳහා 2015 වසරේ හඳුන්වා දුන් ව්‍යාපෘතියකට (Data Ware House) රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැයකළද මේවන විට අපේක්ෂා කළ පරිදි භාවිතා කළ නොහැකිව ඇති බවත් මෙහිදී අනාවරණය විය. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන් එවකට මහජන බැංකුවේ සභාපතිවරයා විසින් පත් කළ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා මෙම ව්‍යාපෘතිය සිදු කළ සමාගමේ ඊට පෙර සේවය කළ අයෙකු බවද මෙහිදී සාකච්ඡා විය. මේ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යයනයක්ද සිදු කර නැති බව ද අනාවරණය වූ අතර කිසිදු ප්‍රතිඵලයක් නොමැති ව්‍යාපෘතියක් සඳහා රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැය කිරීම බරපතල තත්ත්වයක් බැවින් අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විගණනයක් මේ පිළිබඳව සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසත් විගණාකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතාට මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.
අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් සමාගමක් සහ එහි පරිපාලිත සමාගම් සඳහා ණය ලබා දී එම ණය අක්‍රීය ණය කාණ්ඩයට මාරු කිරීමක් පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. 2019.12.31 දින වන විට මෙම ගෙවිය යුතු මුළු ණය මුදල රු. බිලියන 4.2 ක ආසන්න බවත් මෙහිදී හෙළි විය. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් ආරම්භකොට ඇති බව මහජන බැංකුවේ නිලධාරීහු පැවසූහ.
අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ඉරාන් වික්‍රමරත්න, ජයන්ත සමරවීර, එස්.එම් මරික්කාර්, එස්. රාසමානික්කම්, මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද විගණාකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු මහජන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.