මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් කාරක සභාවට නොපැමිණීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කනගාටුව පළ කරයි

දිනය : 2022-03-24

Print

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවනු ලැබූ මහ බැංකු අධිපතිවරයා, මහ බැංකුවේ උසස් නිලධාරීන් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් එම කාරක සභාවට සහභාගී නොවීම සම්බන්ධව සිය කනගාටුව පළ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් සහ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබිණි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ලෝක බැංකුව සමග සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයන්ටද අද (24) දින කාරක සභාවට සහභාගී වීමට නොහැකි බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් දන්වා ලිපියක් මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත එවනු ලැබ තිබිණි.

ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පසුගිය සඳුදා (21) රැස්වීමට නියමිතව තිබූ අතර මහ බැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මත එය අද දිනය දක්වා (24) කල් තබා තිබිණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අදහස වූයේ මහ බැංකුවේ මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බවයි. මෙහිදී සභාපතිවරයා දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලන ලෙස කථානායකවරයාට පැමිණිල්ලක් කිරිම සුදුසු බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙම රැස්වීම නැවතත් අප්‍රෙල් පළමුවැනිදා කැඳවීමට තීරණය කරන ලදී.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරයන් වන ඉන්දික ගරු අනුරුද්ධ, ගරු කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු විජිත හේරත්, (මහාචාර්ය) ගරු රන්ජිත් බණ්ඩාර, ගරු නලීන් ප්‍රනාන්දු, ගරු හර්ෂ ද සිල්වා සහ ගරු මුජිබර් රහුමාන් යන මහත්වරු සහභාගී වූහ.