නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ |
දිනය : | 2022-08-03 |
|
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (03) විවෘත කෙරිණි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම උත්සවය චාම් ලෙස පැවති අතර ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්විණි.
අද පෙ.ව. 9.50 ට පමණ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ පැමිණිම සිදුවිය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පැමිණීම සිදුවූ අතර, ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු සිදුවූයේ ඉන් අනතුරුවයි.
එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගනු ලැබිණි.
එහිදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු විය. ඉන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා, ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන ගියහ.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට ආශිර්වාද එක් කළහ.
අනතුරුව පැළදුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා පෙ.ව. 10.25 පමණ වන තෙක් එහි රැදී සිට සභාගර්භයට සෙංකෝලය රැගත් වේත්‍රධාරීවරයා ඇතුළු පිරිස සමග පෙරහරින් සභාගර්භයට පිවිසියේය. ඉන් අනතුරුව පෙ.ව. 10.30 ට පමණ ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයාගේ අසුනේ මෙවර ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේන් අනතුරුව පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 9 වැනිදා දක්වා කල් තැබීම සිදුවිය.
ඉන් පසු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.
ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අවස්ථාවේදී ද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවිය.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් පැමිණ සිටියහ.
[ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය]