මෙරට ඉතිහාසයෙහි එකොළොස්වන කථානායකවරයා ලෙස, වත්මන් පාර්ලිමේන්තුවෙහි කථානායක ධුරය හොබවන ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 1945 ඔක්තෝබර් 10 වැනි දින මාතර දිස්ත්‍රික්කයෙහි ඡන්ම ලාභය ලද්දෙකි.
සිය ප්‍රාථමික අධ්‍යාපනය මාකඳුර මහා විද්‍යාලයෙන් හමාර කළ හෙතෙම, දෙවනුව, තෙලිජ්ජවිල මධ්‍ය විදුහලෙන්ද, මාතර රාහුල විදුහලෙන් ද ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේය.
පාසැල් අධ්‍යාපනය නිම කළ යොවුන් මහින්ද යාපා අබේවර්ධන 1965 දී තම විශ්වවිද්‍යාලයීය දිවිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඇරඹූ අතර 1968 වර්ෂය වන විට ශාස්ත්‍රවේදී උපාධිය දිනාගැන්මෙහි සමර්ථ විය. ඉනික්බිතිව, සිය වෘත්තිය දිවියට මුල පිරූ අබේවර්ධන මහතා, මුලින්ම රජයේ ලිපිකරු සේවයට බැඳී 1969-1971 දක්වා තෙවසරක් සේවය කළේ රජයේ පුහුණු උපාධිධරයකු ලෙසිනි.
එම පුහුණුවෙන් අනතුරුව, කළමනාකරණ සහකාරවරයකු ලෙස 1961-1975 දක්වා කාලයක් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ද, පසුව 1975-1976 දක්වා රජයේ හස්තකර්මාන්ත මණ්ඩලයේ ද (ලක්සල) කටයුතු කර 1976-1977 දක්වා පේෂකර්ම සැපයුම් සංස්ථාවේ ද සේවය කරමින් රාජ්‍ය සේවය පිළිබඳ මනා දැනුමක් ද අවබෝධයක් ද සිය ජීවන අත්දැකීම් අතරට එක්කර ගැනීමෙහි සමර්ථ විය.
රාජ්‍ය සේවකයෙකු ලෙස තමන් ලද අවබෝධය සභාපතිවරයකු ලෙස ප්‍රායෝගිකව භාවිතයෙහි යොදනු පිණිස අබේවර්ධන මහතාට පළමුවෙන්ම අවස්ථාවක් සැලසුණේ 1977 දී පරන්තන් රසායනික ද්‍රව්‍ය සංස්ථාවේදී ය. පසුව, 1988-1990 දක්වා ලංකා කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පත්වූ හෙතෙම කටයුතු කළේ තමන් රාජ්‍ය සේවයෙන් ලද පුහුණුව ද, අත්දැකීම් ද පන්නරයක් කරගනිමිනි.
මහින්ද යාපා අබේවර්ධන මහතා දේශපාලනයට අත්පොත් තැබුවේ, එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණට එහි මධ්‍යම කාරක සභාවේ සභිකයකු ලෙස (1974-1977) එක්වීම මඟිනි. අනතුරුව, ඔහුගේ සහජ නායකත්ව කුසලතා හඳුනාගත් සෙසු වෘත්තීය සගයෝ අබේවර්ධන මහතාව ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ සහකාරවරුන්ගේ සංගමයේ සභාපති ධුරයට තෝරා පත්කරගත්හ.
1983 වර්ෂයේදී අබේවර්ධන මහතාගේ ජාතික තලයේ ප්‍රථම දේශපාලන ආගමනය සනිටුහන් වන්නේ, එ.ජා.ප.යෙන් හක්මන ආසනයේ අතුරු මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුවය. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයකු ලෙස ඔහු කරමින් සිටි මෙහෙවරට 1987 වසරේදී අනපේක්ෂිත ලෙස විරාමයක් තැබුණේ, ආන්දෝලනාත්මක ඉන්දු-ලංකා සාම ගිවිසුමට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කිරීමෙනි.
1987 දී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා, එවකට එ.ජා.ප.යෙන් බිඳී ඇරඹුණු නව පක්ෂයක් වූ ප්‍රජාත්නත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට බැඳුණේය. 1993 වන විට දකුණු පළාත් සභාවේ සභාපති ධුරයට පත්වූ ඔහු එම වර්ෂයේදීම දකුණු පළාත් මහ ඇමති ධුරයටද තරග කර, ජයග්‍රහණය කළේ, සිය ජාතික මට්ටමේ දේශපාලන දිවියට දස වසරක් සම්පූර්ණ වූ සතුට මහජනයා සමඟ බෙදාගන්නා අතරදී වීම තවත් විශේෂත්වයකි. 1994 සිට1999 වර්ෂය තෙක් දකුණු පළාත් මහ ඇමති ධුරය හෙබවූ හෙතෙම 2000 වසරේදී නැවතත් මහ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පත්වූව ද, පසුව එම තනතුරෙන් ඉල්ලා අස්වී යළි 2001 වසර තෙක් දකුණු පළාත් මහ ඇමති ධූරය දැරුවේය.
යළිත් 2001 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පැමිණි අබේවර්ධන මහතා 2004 තෙක් මන්ත්‍රීධූරයකට හිමිකම් කියූ අතර 2005 වසරෙහි සිට සෞඛ්‍ය සහ පෝෂණ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළේය. අනතුරුව, 2005 වසරේදී සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයට පත්වූ ඔහු 2010 දක්වා එම තනතුර හෙබවීය. 2010 මහ මැතිවරණයෙන් පසු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද අනතුරුව පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා ලෙසද 2015 වසර තෙක් කටයුතු කළද 2015 දී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ හෙතෙම, එවකට නව පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්ව, 2020 තෙක් ජනතා අභිලාෂයන් ඉටු කිරීමෙහි කැප වූයේ, කර්මාන්ත කටයුතු අමාත්‍ය ධූරයෙන්ද (2018) සහ වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන්ද (2020) ලද වගකීම් නොපිරිහෙළා ඉටු කරමිනි.
2020 වසරේදී මහා මැතිවරණය ජය ගෙන, යළිත් පාර්ලිමේන්තුවට පත්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා අගෝස්තු 20 වැනි දින නවවැනි පාර්ලිමේන්තුව රැස්වූ ප්‍රථම දිනයෙහි එහි කථානායකවරයා ලෙස තේරීපත් විණි.
වර්තමානයෙහි ගෙවීයන, අතිශය අභියෝගකාරී සමයක කථානායක ධුරයෙහි වගකීම ද ගෞරවය ද අපක්ෂපාතීත්වය ද සුරකිමින් අගනා කාර්යභාරයක් සිය මවුබිමට ඉටු කරමින් සිටින අපේ පාර්ලිමේන්තුවේ කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කාර්ය බහුල දිවියට වගාවෙන් අස්වැසිල්ලක් සොයන්නෙකු වෙයි. අබේවර්ධන මහතා දරුවන් පස් දෙනෙකුගේ ආදර්ශවත් පියෙකි, ආදරණීය සැමියෙකි.