| |
|
| 1. |
රාජ්‍ය නිලධාරීන් පැමිණෙන වාහන පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ධාවනය කිරීම
- නිල කටයුතු සඳහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන සියළුම රාජ්‍ය නිලධාරීන් ගමන් කරන වාහන ආරක්ෂක අවශ්‍යතාවන්ට යටත්ව, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ධාවනය කිරීම පිණිස අවසර ලබා දී ඇත.
- ඒ අනුව, රාජ්‍ය නිලධාරීන් පැමිණෙන වාහන ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ඔස්සේ පමණක් ධාවනය කළ හැක.
- ජයන්තිපුර ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක පිරික්සුම් ඒකකයේ දී හදුනාගැනීමෙන් අනතුරුව වාහනය පමණක් ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. එහි දී, වාහනයෙන් බැසීම අනවශ්‍ය ය.
- එසේ වුවද, පැමිණෙන වාහනයේ රැගෙන එනු ලබන සියළු දෑ ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. එබැවින්, පාර්ලිමේන්තුවේ රාජකාරි අවශ්‍යතාව සඳහා අදාළ ලිපිලේඛනාදිය හැර වෙනත් අත්‍යවශ්‍ය නොවන හෝ රැගෙන ඒමට සුදුසු නොවන හෝ මෙවලම්/ උපකරණ/භාණ්ඩ/ ගමන් මළු යනාදී දෑ රැගෙන ඒමෙන් හැකිතාක් දුරට වැලකී සිටීම, ආරක්ෂක සෝදිසිය සඳහා පහසුවකි.
- එකී ආරක්ෂක සෝදිසි කිරීම් අවසන් වූ පසුව, පොලිස් නිලධාරීන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන පිවිසුම වෙත වාහනය යොමු කරනු ලැබේ.
- මහජන පිවිසුමේ දී වාහනයෙන් බැසීමෙන් අනතුරුව,
- නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරය වෙත ද,
- රියැදුරකු සහිතව පැමිණියේ නම් වාහනය ගාල් කිරීම පිණිස ජයන්තිපුර රථගාල හෝ අදාළ රථගාල හෝ වෙත ද, යොමු කරනු ලැබේ.
ආපසු යාමේ දී වාහනය නැවත කැඳවාගැනීමේ පහසුකම් සලසා ඇත.
- රාජකාරි කටයුතු අවසානයේ දී, පාර්ලිමේන්තු සංකීර්ණයෙන් බැහැර යාම පිණිස ජයන්තිපුර ප්‍රධාන පිවිසුම හෝ නුග සෙවන පිවිසුම හෝ පින්නියර පිවිසුම හෝ උපයෝගී කරගත හැක.
- කෙසේ වුවද, කිසියම් රජයේ නිලධාරියකු තමන් විසින් ම, වාහනය පදවාගෙන පැමිණියේ නම්, වාහනය ජයන්තිපුර රථගාලේ ගාල් කිරීමෙන් අනතුරුව ජයන්තිපුර ප්‍රධාන පිවිසුමේ පිහිටි අවසර පත් කවුන්ටරය වෙත පැමිණිය යුතු අතර එහි දී හදුනාගැනීමේ අවශ්‍යතාවන් සපුරාගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට පැමිණීම පිණිස කෙටි ධාවන පාර්ලිමේන්තු බස් රථ සේවාව උපයෝගී කරගත හැක.
|
| |
|
| 2. |
වර්ණ තාවකාලික අවසර පත් නිකුත් කිරීම සහ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට යොමු කිරීම සහ ආරක්ෂක විධිවිධාන
- රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරයේ රාජකාරියේ නියුතු පිළිගැනීමේ නිලධාරී වෙත තම අනන්‍යතාව තහවුරු කිරීම පිණිස තම ජාතික හැදුනුම් පත හෝ වලංගු රියැදුරු බල පත්‍රය හෝ වලංගු ගුවන් ගමන් අවසර පත්‍රය හෝ තම ආයතන බලධාරියා විසින් නිකුත් කරන ලද රාජකාරි නිල හැදුනුම් පත හෝ ඉදිරිපත් කිරීම ද, වේත්‍රධාරී විසින් නිකුත් කරන ලද, ප්‍රවේශ අවසර පතක් වෙතොත් එය ද, ඉදිරිපත් කිරීම අවශ්‍ය ය.
- අනතුරුව, අදාළ තොරතුරු ලේඛනගත කිරීම සිදු කරනු ලබන අතර අනන්‍යතා ලේඛනය රඳවාගැනීමෙන් පසුව, අදාළ ස්ථානය දක්වා වලංගු වර්ණ තාවකාලික අවසර පතක් නිකුත් කරනු ලබන අතර බැහැර යාමේ දී එය ආපසු භාර දුන් විට අනන්‍යතා පත්‍රය ලබාගත හැක.
- පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ දී සියළුම රාජ්‍ය නිලධාරීන් ශාරීරික ආරක්ෂක සෝදිසියට ලක් කරන අතර ඔවුන් විසින් රැගෙන එනු ලබන ලිපිලේඛන හා ගමන්මළු යනාදිය ද, ආරක්ෂක සෝදිසියට ලක් කරනු ලැබේ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පිවිසෙන සියළු දෙනා ශාරීරික ආරක්ෂක සෝදිසියට ලක් කරන බැවින්, ඒ සඳහා සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
- පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ රැඳී සිටින කාලවේලාවන් තුළ දී, පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බැවින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් ආරක්ෂක නිලධාරීන්ට ද, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන්ට ද, සිය රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස සහයෝගය ලබාදෙන ලෙස සියළුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
|
| |
|
| 3. |
ජංගම දුරකථන, ලැප්ටොප්/ටැබ්ලට්/අයිපෑඩ් හා වෙනත් විද්‍යුත් උපකරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට රැගෙන ඒම පිණිස අවසර දීම
- රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය තුළට ජංගම දුරකථන රැගෙන යාම සඳහා අවසර දෙනු නොලැබේ. එබැවින්, එම මැදිරියට යන නිලධාරීන් හට තම ජංගම දුරකථනය රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරය සමීපයේ රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරී වෙත භාර දීම පිණිස පහසුකම් සලසා ඇත.
- රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට පිවිසීම හැර වෙනත් කවර හෝ කාරක සභා රැස්වීමකට සහභාගි වීම පිණිස කාරක සභා කාමර වෙත පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ට ද, නිල රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට ද, අවශ්‍ය වන්නේ නම් පමණක් තම ජංගම දුරකථනය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට රැගෙන යාම සඳහා අවසර ලබාදිය හැකි අතර ඒ සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍ර කට්ටලයක් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය ය.
- අවශ්‍යතාව පරිදි ඉල්ලුම් කළ හොත් ක්‍රියාත්මක වර්ෂය අවසානය තෙක් මෙම අවසර පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව සලකා බලන අතර පාර්ලිමේන්තුවට පැමිණෙන සියළු අවස්ථාවන්හි දී අවසර පත්‍රය රැගෙන ඒමට අදාළ නිලධාරියා විසින් කටයුතු කළ යුතු වේ. එසේ කිරීමෙන් අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගත හැක.
- ආරක්ෂක අවශ්‍යතාවන්ට යටත්ව, අත්‍යවශ්‍ය අවස්ථාවන්හි දී, පමණක් ලැප්ටොප්/ ටැබ්ලට්/ අයි පෑඩ් පරිගණකය රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට රැගෙන යාම සඳහා අවසර ලබාදිය හැකි අතර ඒ සඳහා අදාළ අයැදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර, ඉදිරිපත් කළ යුතු වේ.
- රාජකාරි අවශ්‍යතාව මත ලැප්ටොප්/ ටැබ්ලට්/ අයි පෑඩ් පරිගණකය හෝ වෙනත් කිසියම් විද්‍යුත් උපකරණයක් හෝ පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් කාරක සභා හෝ රැස්වීමකට ගෙන යාම අවශ්‍ය වන්නේ නම් ඊට අවසර ලබාදිය හැකි අතර ඒ සඳහා අදාළ අයැදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු වේ.
- ඉහත යොමුවන අවසරය ලබාදීම වේත්‍රධාරී/ නියෝජ්‍ය වේත්‍රධාරී/ සහකාර වේත්‍රධාරී විසින් පමණක් සිදු කරනු ලැබේ.
|
| |
|
| 4. |
රාජ්‍ය නිලධාරීන් විවිධ රාජකාරිමය අවශ්‍යතාවන් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම හෝ අවසර පත් ලබාගැනීම හෝ සම්බන්ධව තොරතුරු ලේඛන එවීම
- අවසර පත් ලබාගැනීම පිළිබඳ හෝ පාර්ලිමේන්තුව වෙත පැමිණෙන නිලධාරීන් පිළිබඳ හෝ තොරතුරු පාර්ලිමේන්තුව වෙත එවීමේ දී, 2777473 හෝ 2777322 හෝ 2777323 හෝ ඔස්සේ එවීමට කටයුතු කිරීම මඟින් කඩිනම් අවධානයට යොමු කිරීමට හැකියාව ලැබෙන බව කරුණාවෙන් දන්වමි.
- එසේ වුවද, පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම පිණිස හෝ පැමිණෙන නිලධාරීන් සම්බන්ධව තොරතුරු ලේඛන ඉදිරිපත් කිරීමේ දී අදාළ කාරක සභාවේ ලේකම්/ අදාළ කාරක සභා කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන)ගේ නිර්දේශය සහිතව එම තොරතුරු ලේඛන වේත්‍රධාරී වෙත ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු හා අත්‍යවශ්‍ය කරුණකි. එබැවින්, එම තොරතුරු ලේඛන එම නිලධාරීන් මාර්ගයෙන් වේත්‍රධාරී වෙත ලැබීමට සැලැස්වීම වඩාත් උචිත වේ.
- ඇතැම් අමාත්‍යාංශ/ ආයතන මඟින් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන නිලධාරීන් පිළිබඳ තොරතුරු හෝ අවසර පත් ලබාගැනීම පිළිබඳ ඉල්ලීම් හෝ එවීමේ දී,
- වේත්‍රධාරී හෝ අදාළ කාරක සභාවේ ලේකම් හෝ කාරක සභා කාර්යාලය හෝ වෙත එවීම වෙනුවට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත වෙනත් කාර්යාල වෙත එම ලේඛන එවීම,
- එකම ලේඛනයේ පිටපත් ගණනාවක් හෝ ලේඛන ගණනාවක් හෝ වරින්වර එවීම
- අදාළ රැස්වීම හෝ සාකච්ඡාව හෝ ආරම්භ කිරීමට ඉතාමත් ම, ආසන්න වේලාවක එම ලේඛන එවීම,
- තොරතුරු සංශෝධනය කළ බවට සනාථ කිරීමෙන් තොරව සංශෝධිත ලේඛන වරින්වර එවීම,
- නම, තනතුර, ජාතික හැදුනුම්ත් අංකය, පැමිණෙන වාහන අංකය සහ වෙනත් අත්‍යවශ්‍ය තොරතුරු අසම්පූර්ණ ලේඛන එවීම,
යනා දී කරුණු හේතුවෙන්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුමෙන් ඔබ්බට එම නිලධාරීන් යොමු කිරීම පිණිස ලේඛන පරීක්ෂා කිරීමේ කටයුතුවල දී පැමිණෙන නිලධාරීන් ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පොලිස් නිලධාරීන් ද, අපහසුතාවට ලක්වන බව ද, නිරීක්ෂණයට ලක්ව ඇත. එබැවින්,
- ඉහත කී ෆැක්ස් අංක වෙත හෝ අදාළ කාරක සභා කාර්යාංශය වෙත හෝ තොරතුරු එවීමට ද,
- එවන ලද නාම ලේඛන සංශෝධනය කිරීමට සිදුවන අවස්ථාවලදී සංශෝධිත ලේඛනයක් බවට හඳුනාගැනීම පහසු වන පරිදි ආවරණ ලිපියක් සහිත ලේඛනයක් හෝ හැකි සෑම අවස්ථාවක දී ම, සංශෝධිත බවට අදාළ සටහන් සහිතව සංශෝධිත මුල් ලේඛනය ම, හෝ එවීමට ද,
- එකම ලේඛනයේ පිටපත් ගණනාවක් එවීමෙන් වැළැකී සිටින ලෙස හා එවන ලද ලේඛනය නිසි පරිදි ලැබී තිබේ ද යන්න ඉහත සඳහන් කර ඇති ෆැක්ස් අංක මාර්ගයෙන් හෝ දුරකථන අංක 2777100 ඔස්සේ (අභ්‍යන්තර දිගු 5422, 5334 සහ 5302) ඇමතුමක් මගින් විමසා බලන ලෙස ද,
- තොරතුරු ලේඛන එවීමේ දී අදාළ සියළු තොරතුරු සහිතව, අවම වශයෙන් එක් රාජකාරි දිනකට පෙර එවීමට ද,
කටයුතු කරන ලෙස ද, ඉල්ලා සිටිනු ලැබේ.
|
| |
|
| 5. |
කාරක සභා/ සාකච්ඡා සඳහා සහභාගි වන නිලධාරීන් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුව වෙත පැමිණීමේ අවශ්‍යතාව
- කාරක සභා රැස්වීම්/ සාකච්ඡා කිහිපයක් එකම /ආසන්න වේලාවක පැවැත්වෙන අවස්ථා බහුලව යෙදෙන අතර එම අවස්ථාවල දී ආරක්ෂක අවශ්‍යතා සපුරාලීමෙන් පසු අදාළ නිලධාරීන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුමෙන් ඔබ්බට යොමු කරවීමේ දී ප්‍රමාදයන් ඇතිවීමට ඉඩ ප්‍රස්ථා ඇත.
එබැවින්, යම් නිල කටයුත්තක් සඳහා ඔබගේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවලදී නියමිත වේලාවට වඩා අවම වශයෙන් විනාඩි 30ක් පමණ කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළ අවසර පත් කවුන්ටරය වෙත පැමිණීමෙන් අනවශ්‍ය ප්‍රමාදයකට ලක්වීම මඟ හරවා ගත හැකි බව කරුණාවෙන් දන්වමි.
|
| |
|
| 6. |
නිල කටයුතු සඳහා පාර්ලිමේන්තුව වෙත නිතර පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව සැලසීම පිණිස වාර්ෂික/ දෛනික ප්‍රවේශ අවසර පත් නිකුත් කිරීම
- අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත වාර්ෂික අවසර පත් නිකුත් කිරීම
පාර්ලිමේන්තු රැස්වීම් පවත්නා දිනයන්හි දී රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට ඇතුළුවීම/ පාර්ලිමේන්තු කාරක සභා හෝ වෙනත් පාර්ලිමේන්තු කාරක සභාවලට සහභාගි වීම සඳහා හෝ විවිධ රාජකාරිමය අවශ්‍යතාවන් සඳහා හෝ පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත වාර්ෂික අවසර පත් පහත දැක්වෙන පරිදි නිකුත් කරනු ලැබේ. වත්මන් වර්ෂය සඳහා එම අවසර පත් නිකුත් කිරීමට දැනටමත් කටයුතු කර ඇත.
- අමාත්‍යාංශ ලේකම්ගේ වාහනය සඳහා අවසර පත් 01ක්
- රජයේ නිලධාරීන්ගේ මැදිරි අවසර පත් 03ක්
- රජයේ නිලධාරී අවසර පත් 02 ක්
- ආපන ශාලා අවසර පත් 01ක්
මෙම අවසර පත් නිකුත් කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් යුතු ඉල්ලීමක් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- ගරු කැබිනට් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් වෙත වාර්ෂික අවසර පත් නිකුත් කිරීම
ඉහත ජේදයේ දක්වා ඇති රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කරනු ලබන අවසර පත්වලට අමතරව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නිල කාමරයක් හිමි කැබිනට් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වෙත ද, වාර්ෂික අවසර පත් පහත දැක්වෙන පරිදි නිකුත් කරනු ලැබේ. වත්මන් වර්ෂය සඳහා එම අවසර පත් ඒ ඒ නිලධාරීන් වෙත නිකුත් කිරීමට දැනටමත් කටයුතු කර ඇත.
- පෞද්ගලික ලේකම් සඳහා අවසර පත් 01
- සම්බන්ධීකරණ ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) සඳහා අවසර පත් 01
- සම්බන්ධීකරණ ලේකම් (මාධ්‍ය) සඳහා අවසර පත් 01
මෙම වාර්ෂික අවසර පත් නිකුත් කිරීම පිණිස අදාළ අමාත්‍යවරයාගේ හෝ අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ හෝ අත්සනින් යුතු ඉල්ලීමක් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- දෛනික ප්‍රවේශ අවසර පත් නිකුත් කිරීම
- ඉහත ජේදයන්හි දැක්වෙන අවසර පත් භාවිත කරනු ලබන නිලධාරීන්ට අමතරව,
- රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට,
- රාජකාරි පදනම යටතේ පාර්ලිමේන්තු ගැලරියට හෝ අමාත්‍ය කාමරයකට හෝ වෙනත් ස්ථානයකට හෝ
- පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්/ වෙනත් කාරක සභා රැස්වීම් / වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා
සහභාගි වීම පිණිස පාර්ලිමේන්තුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් හට ප්‍රවේශ අවසරය ලබාදීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශයට යටත්ව, වේත්‍රධාරී වෙත ලිපියක් ඉදිරිපත් කිරීම මගින් නියමිත දිනට වලංගු දෛනික ප්‍රවේශ අවසරය වේත්‍රධාරී වෙතින් ලබා ගත හැක.
- එකී ප්‍රවේශ අවසරය පිළිබඳ තොරතුරු හා ඊට අදාළ වැඩිදුර උපදෙස්
- පාර්ලිමේන්තු පොලීසිය වෙත ද,
- අදාළ පිළිගැනීම් කවුන්ටර සහ
- අදාළ ආරක්ෂක නිලධාරීන්ගේ කවුන්ටර වෙත
නිකුත් කිරීමට වේත්‍රධාරී/ නියෝජ්‍ය වේත්‍රධාරී/ සහකාර වේත්‍රධාරී විසින් අවශ්‍ය පියවර ගනු ලැබේ.
|
| |
|
| 7. |
රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ රාජකාරි පදනම යටතේ මහජන ගැලරිය හෝ පරිහරණය
- රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට අදාළ වර්ණ තාවකාලික පතක් රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීම් කවුන්ටරයෙන් නිකුත් කරනු ලබන්නේ, වේත්‍රධාරී විසින් අදාළ දින සඳහා නිකුත් කරන ලද රාජ්‍ය නිලධාරී මැදිරි අවසර පතක් හිමි නිලධාරීන් හට පමණි. තවද, විශේෂිත අවශ්‍යතාවක් අනුව, රාජකාරි පදනම යටතේ මහජන ගැලරියට යාම පිණිස අවසර පත් නිකුත් කිරීම ද, එම විධිධිවිධාන පරිදි ම, සිදු කරනු ලැබේ.
- රාජකාරි අවශ්‍යතාව මත රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ මහජන ගැලරිය හෝ වෙත යාම පිණිස ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් අදාළ අමාත්‍යාංශයේ ලේකම් හෝ අතිරේක ලේකම් හෝ මගින් පමණක් වේත්‍රධාරී වෙත යොමු කළ යුතු අතර එවැනි ඉල්ලීම් වෙනත් කාර්යාංශ වෙත යැවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනු ලැබේ. යම් විශේෂිත අවස්ථාවන්හි දී, කිසියම් නිලධාරියකු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය වෙත කැඳවනු ලැබුවහොත් ඒ සඳහා අවස්ථාවෝචිත පරිදි විධිවිධාන සැලසීමට පියවර ගනු ලැබේ.
- කෙසේ වුවද, රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරිය හෝ රාජකාරි පදනම යටතේ මහජන ගැලරිය හෝ වෙත පැමිණෙන නිලධාරීන් සඳහා වෙන් වෙන් වශයෙන් නිකුත් කරනු ලබන මුද්‍රිත දෛනික අවසර පත් කල්වේලා ඇතිව වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ලබාගැනීමට අදාළ අමාත්‍යාංශ මගින් අවශ්‍ය පියවර ගත යුතු වේ. විශේෂයෙන් ම, අයවැය විවාද සමයේ දී මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස අවාධරණය කරනු ලැබේ.
- රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියේ ඇති සීමිත ආසන ප්‍රමාණය සැලකිල්ලට ගෙන අවසර පත් නිකුත් කරනු ලබන බැවින් රාජකාරි අවශ්‍යතාව පදනම් කරගෙන ප්‍රමුඛතාව මත සකස් කරන ලද ලේඛනයක් මගින් අදාළ ඉල්ලීම ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
- රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට පැමිණෙන නිලධාරීන් ද, නිසි ඇඳුමින් සැරසී සිටීම හා එහි රැඳී සිටින කාලවකවානුව තුළ අදාළ නීතිරීති පිළිපැදීම අත්‍යවශ්‍ය ය. මෙම කරුණු සම්බන්ධව සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර අදාළ කරුණු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිරියට පැමිණීම පිණිස නිකුත් කරනු ලබන දෛනික අවසර පත්‍රයේ සඳහන් කර ඇති අතර එම මැදිරිය තුළ ප්‍රදර්ශනය කිරීමට ද, කටයුතු කර ඇත.
- රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව තකා ෆැක්ස් පහසුකම් එම මැදිරිය තුළ ද, දුරකථන පහසුකම් එම මැදිරියෙන් පිටත ආලින්දයේ ද, සලසා ඇත. එම ආලින්දයේ රැඳී සිටිය දී ගරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශයට බාධා නොවන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර සභා ගර්භය දෙපස පිහිටි ආලින්ද ගරු මන්ත්‍රීවරුන් සඳහා පමණක් සීමා කර ඇති බැවින් එම ආලින්ද තුළට ප්‍රවේශ වීමෙන් සපුරා වැළැකී සිටීම අත්‍යවශ්‍ය ය.
|
| |
|
| 8. |
අමාත්‍යාංශ නිලධාරීන් විසින් අමාත්‍ය කාමර පරිහරණය
- අදාළ ගරු කැබිනට් අමාත්‍යවරයා හට පාර්ලිමේන්තුවේ අමාත්‍ය කාමරයක් හිමිව තිබේ නම්, පාර්ලිමේන්තු රැස්වීම් පවත්නා හෝ නොපවත්නා හෝ දිනයන්හි රාජකාරි වේලාව තුළ, අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ රාජකාරි අවශ්‍යතාව පරිදි එතුමන්ගේ නිර්දේශයට ද, අදාළ අවසර ලබාගැනීමේ අවශ්‍යතාවට ද, යටත්ව, රාජ්‍ය නිලධාරීන් හෝ අදාළ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් හෝ අදාළ අමාත්‍ය කාමරය වෙත යොමු කරනු ලැබේ.
- අදාළ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණි නොසිටී නම්, පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනයන්හි දී රාජ්‍ය නිලධාරීන් හෝ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් හෝ කිසිවකු සඳහා අමාත්‍ය කාමර විවෘත කර දෙනු නොලැබේ.
|
| |
|
| 9. |
අමාත්‍යාංශවලට අයත් හෝ අමාත්‍යාංශ මගින් යොමු කරනු ලබන හෝ මාධ්‍ය කණ්ඩායම්
- ගරු අමාත්‍යවරුන්ගේ අවශ්‍යතාව මත තම අමාත්‍යාංශයට අයත් හෝ අමාත්‍යාංශය මගින් යොමු කරනු ලබන මාධ්‍ය කණ්ඩායම් හෝ පාර්ලිමේන්තුව වෙත එවීම අවශ්‍ය වන අවස්ථාවන්හි දී ඒ සඳහා ඉල්ලීමක් අදාළ අමාත්‍යාංශය මගින් වේත්‍රධාරී වෙත ඉදිරිපත් කළ යුතු වේ. පැමිණෙන අයගේ නම, ජාතික හැදුනුම් පත් අංකය, රැගෙන එනු මාධ්‍ය උපකරණ/ මෙවලම් යනාදී තොරතුරු ද, ඔවුන් පැමිණෙන වාහන අංක සහ ගරු අමාත්‍යතුමා විසින් මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන ස්ථානය යනා දී තොරතුරු ද, එම ඉල්ලීමේ සඳහන් කළ යුතු වේ.
- අදාළ මාධ්‍ය කණ්ඩායම්වලට අයත් පුද්ගලයන්, ඔවුන් පැමිණෙන වාහන සහ රැගෙන එන උපකරණ යනාදිය ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලබන බැවින් අදාළ වේලාවට වඩා අවම වශයෙන් විනාඩි 45ක කාලයකට පෙර පාර්ලිමේන්තුවට පැමිණීම මගින් අනවශ්‍ය අපහසුතා ඇතිවීම වලක්වා ගත හැක.
- එම උපකරණ රැගෙන, අදාළ ආරක්ෂක පරීක්ෂාවන්ට යටත්ව, කාර්ය මණ්ඩල පිවිසුම ඔස්සේ පමණක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු විය යුතු අතර වේත්‍රධාරී විසින් අවසර දී ඇති ස්ථාන වෙත පමණක් පිවිසිය යුතු වේ. වෙනත් ස්ථාන වෙත පිවිසීමෙන් හා අවසර නොලද ස්ථානයන්හි මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමෙන් සපුරා වැළකිය යුතු වේ. තවද, විශේෂිත අවසරයක් ලද අවස්ථාවන්හි දී හැර පාර්ලිමේන්තු ගැලරි තුළට ද මාධ්‍ය උපකරණ රැගෙන යාම ද, සපුරා තහනම් වේ.
|
| |
|
| 10. |
කාරක සභා කාමර වෙන් කර ගැනීම
- පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත ස්ථාපිත කාරක සභාසඳහා සහ අදාළ අනෙකුත් ප්‍රමුඛතා වලට ද, කාරක සභා කාමරයක් වෙන්කර දීමේ හැකියාවට ද, යටත්ව ගරු කැබිනට් අමාත්‍යවරයකු හට, කාරක සභා කාමරයක් වෙන් කර ගැනීමේ හැකියාව ඇත.
ගරු අමාත්‍යතුමාගේ අත්සන සහිතව හෝ එතුමන්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්ගේ හෝ අතිරේක ලේකම්ගේ හෝ අත්සන සහිතව වේත්‍රධාරී වෙත ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් සඳහා පමණක් ඉහත විධිවිධානවලට යටත්ව, කාරක සභා කාමර වෙන් කරදීමට කටයුතු කරනු ලැබේ.
|