| | | | | | |
 
 

හැදින්වීම

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

 

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

 

පරිපාලන දෙපාර්තමේන්තුව

 

ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

 

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

 

හැන්සාඩ් ‌දෙපාර්ත‌මේන්තුව

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

 

ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුව

 

තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව


වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්භවය සහිත වේත්‍රධාරී දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුවේ ඇති ඉතා වැදගත් දෙපාර්තමේන්තුවකි. නිදහස ලැබීමෙන් පසු වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය මත පදනම් වුණු පාර්ලිමේන්තු ක්‍රමයක් ශ්‍රී ලංකාවට උරුම විය. පාර්ලිමේන්තුවේ කාර්යාල අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයට පමණක් දෙවැනි වන වේත්‍රධාරී දෙපාර්තමේන්තුව එයටම සුවිශේෂී වූ කාර්යය භාරයන් සමඟින් ආරම්භ කරන ලද්දේ ඉන් පසුවය.

වේත්‍රධාරී පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් වන අතර, ඔහුට සිය රාජකාරී කටයුතු කිරීම සඳහා සභා ගර්භයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ විශේෂිත ස්ථානයක් වෙන් කර තිබේ. උත්සව අවස්ථා සංවිධානය කිරීම, විනය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය ආරක්ෂා කිරීම, සෙංකෝලයේ භාරකාරත්වය, ආරක්ෂාව, අමුත්තන් ඇතුළු කර ගැනීම, සභාව තුළ ඉඩකඩ පහසුකම් සලසා දීම සහ ගැලරි අධීක්ෂණය වේත්‍රධාරීවරයාගේ කාර්යයන් අතර වේ.

උත්සව අවස්ථා

පාර්ලිමේන්තුවේ උත්සව අවස්ථා සංවිධානය කිරීමේ ප්‍රධානියා වන වේත්‍රධාරීවරයා එම සියලු උත්සව අවස්ථා සංවිධානය කිරීමේ වගකීමද භාරව කටයුතු කරයි. මේ අතුරින් ඉතාම වැදගත් අවස්ථාව වන්නේ නව පාර්ලිමේන්තු සැසිවාරයක් උත්සවාකාරයෙන් විවෘත කිරීමයි. රාජ්‍ය නායකයින් පිළිගැනීම ද එක් ප්‍රධාන උත්සව අවස්ථාවක් වන අතර, මේ දක්වා රාජ්‍ය නායකයින් 7 දෙනෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී මහජන ගෞරවය සඳහා දේහයන් ප්‍රදර්ශනය කිරීමේ කාර්යයන් සංවිධාන කරන්නේ ද වේත්‍රධාරීවරයා ය.

ඔහුගේ රාජකාරිය ඉටු කරනු වස්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්යය මණ්ඩලයේ ඕනෑම සාමාජිකයෙකුගේ සහය ලබා ගැනීමේ බලය වේත්‍රධාරී සතුය.

විනය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය ආරක්ෂා කිරීම

කථානායකතුමාගේ මෙහෙයවීම යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර විනය පවත්වා ගැනීමේ සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය ආරක්ෂා කිරීමේ කාර්යය පැවරී ඇත්තේ වේත්‍රධාරීවරයාටය. මූලාසනයේ ආධිපත්‍යය නොපිළිගැනීම හෝ නොසලකා හැරීම, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම හෝ නැවත නැවතත් ස්ථාවර නියෝග උල්ලංඝණය කිරීම වැනි අවස්ථාවලදී සභාවේ අණ පරිදි මන්ත්‍රීවරුන් සභා ගැබෙන් හා පාර්ලිමේන්තු සීමාවෙන් ඉවත් කිරීම ඔහු විසින් සිදු කළ යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් චෝදනාවක් එල්ල කළ විටදී, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වේත්‍රධාරීවරයා යොමු කළ හැකි අතර, ඔහු ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී වාර්තාවක් ලබා දිය යුතුය.

සභාවේ වරප්‍රසාදවල ආරක්ෂකයා කථානයකතුමා වන අතර, ඔහුගේ අණ ක්‍රියාත්මක කිරීමේ නෛතික බලය ඇත්තේ වේත්‍රධාරීවරයාටය.

වේත්‍රධාරීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ලේඛනය භාරව සිටින අතර, කථානායකතුමාගේ අනුමැතියට යටත්ව සභාවේ ආසන සැලසුම තීරණය කරන්නේ ඔහු විසිනි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ආයුධයක් දැරීමේ අවසරය ඇති එකම නිලධාරීයා ඔහුය.

සෙංකෝලයේ භාරකාරත්වය

මාණික්‍යය ඔබ්බවන ලද සෙංකෝලය පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පිළිබිඹු කරන අතර, එය වේත්‍රධාරීවරයාගේ භාරකාරත්වය යටතේ පවතී. සෙංකෝලය, සභා ග‍‍ර්භයේ ඇති මේසයේ ඉහළ ආධාරකය මත තැබූ විට සභා වාරයක් පැවැත්වෙන බව අඟවයි. සභා වාරයක් ආරම්භයේදී කථානායකවරයා සභා ගර්භයට පිවිසෙන විට හා එයින් නික්මෙන විටදී ඔහු සමඟ සෙංකෝලය රැගත් වේත්‍රධාරීවරයාද ගමන් කරයි. නෛතිකව නියම කර ඇති වේලාවට සෙංකෝලය සභාවට ගෙන ආ යුතු අතර සභා වාරය අවසානයේ ඉන් ඉවත් කළ යුතුය. එමනිසා සෙංකෝලය අනවසරයෙන් ඉවත් කිරීමෙන් සභාවේ කටයුතු අවලංගු කළ නොහැක.

කථානායකතුමා මුලසුන හොබවන විටදී, සෙංකෝලයේ මාණික්‍යය ආණ්ඩු පක්ෂය දෙසට යොමුවන සේ එය මේසය මත තබා ඇත. සභාව තාවකාලිකව අත්හිටවූ විටදී, සෙංකෝලය මේසය මතින් ඉවත් නොකරනු ලැබේ. කාරක සභා අවස්ථාවේදී, වේත්‍රධාරී විසින් සෙංකෝලය පහළ ආධාරකය මත තැබිය යුතුය.

ආරක්ෂාව

පාර්ලිමේන්තු දේපළවල ආරක්ෂාවත්, ඒවාට ප්‍රචණ්ඩකාරී ක්‍රියා, හදිසි අනතුරු හා ගිනි ගැනීම් ආදියෙන් අවදානමක් නැති බව සහතික කිරීමත් වේත්‍රධාරීගේ වගකීම වේ. ඒ සඳහා ඔහුට නිළධාරීන් 235 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු පොලිසියේ සහාය ලැබේ.

අදාළ බළධාරීන්ගෙන් විමසීමෙන් පසු, කාර්ය මණ්ඩලය සඳහා කලින් කලට පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ ගිනි නිවීම පිළිබඳ වැඩමුළු සහ අභ්‍යාස සංවිධානය කිරීමද වේත්‍රධාරී විසින් සිදු කෙරේ.

අමුත්තන් ඇතුළු කර ගැනීම

පාර්ලිමේන්තු සීමාවට අමුත්තන් ඇතුළුවීම පාලනය කරනු ලබන්නේ වේත්‍රධාරී විසිනි. අමුත්තන් ඇතුළුවීමට පෙර ආරක්ෂක පරීක්ෂාවකට භාජනය විය යුතු අතර ගැලරිය තුළ සිටින විට නියමිත නීති රීති පිළිපැදීමට ඔවුන් එකඟ විය යුතුය. සම්භාවනීය අමුත්තන් කථානායක ගැලරියට ඇතුළු කර ගන්නා අතර ඔවුන් අවම ආරක්ෂක පරීක්ෂාවකට ලක් කෙරේ. සභාවේ කටයුතු අනුගමනය කරමින් අවශ්‍ය වූ විටදී අදාළ අමාත්‍යවරුන්ට සහය වීම පිණිස සභා ගර්භයට නුදුරින් මහජන නිලධාරීන් සඳහා විශේෂ මැදිරියක් වෙන් කර තිබේ.

මාධ්‍ය නියෝජිතයින් සඳහා කථානායකවරයාගේ ආසනය පිටුපසින් ඇති ගැලරියේ ආසන වෙන් කර ඇත. ඔවුන්ට අවසර පත් නිකුත් කරන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ සහතිකය ඇත්නම් පමණි.

මේ හැරුණු කොට රැස්වීම් පැවැත්වෙන හා නොපැවැත්වෙන දිනයන් හිදීද විශාල ජනකායක් විශේෂයෙන්ම පාසල් ළමයි පාර්ලිමේන්තුව නැරඹීමට පැ‍මිණේ.

ඉඩකඩ පහසුකම් සලසා දීම

කාර්යාල කාමර, කාරක සභා කාමර, සාකච්‍ජා කාමර වෙන් කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම සහ එහි පරිපාලනයේ වගකීම වේත්‍රධාරී සතුවේ. යම් මන්ත්‍රීවරයෙකු හට කාරක සභා කාමරයක් හෝ සාකච්ඡා කාමරයක් අවශ්‍ය නම්, එම පහසුකම වේත්‍රධාරීවරයාගෙන් ලබා ගත හැකිය.

ගැලරි අධීක්ෂණය

ගැලරියට ඇතුළුවන පුද්ගලයින් අවසර පත් ඇතිව, සුදුසු ඇඳුමින් සැරසී, මනා ලෙස හැසිරෙන බවට වග බලා ගැනීම වේත්‍රධාරීගේ වගකීමයි. අමුත්තන් විසින් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා නොකරන බවටත්, මන්ත්‍රීවරුන්ට බාධා නොවන පරිදි හැසිරෙන බවටත් වේත්‍රධාරීවරයා විසින් වග බලා ගත යුතුය. තවද අමුත්තන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අවසර නොලත් ප්‍රදේශයන්හි නොහැසිරෙන බවට වේත්‍රධාරී වග බලා ගත යුතුය.

ජාත්‍යන්තර සබඳතා

වේත්‍රධාරීවරයා, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු වේත්‍රධාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන අතර පාර්ලිමේන්තු කළමනාකරණයේ නවීන ප්‍රවණතා සම්බන්ධයෙන් තම දැනුම වැඩි දියුණු කර ගැනීම උදෙසා එහි සැසිවාර සඳහා නිතර සහභාගී වේ.

වේත්‍රධාරීවරුන්

එම්. ඉස්මයිල්, එම්.බී.ඊ. 1947 - 1961
ඒ.ජේ.ආර්. ද සිල්වා 1961 - 1970
රොනී අබේසිංහ 1970 - 1996
විජය පල්ලියගුරුගේ 1996 - 2006
අනිල් පී. සමරසේකර 2006 සිට මේ දක්වා
 
     
   
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.