|
|
හැන්සාඩ් දෙපාර්තමේන්තුව
හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වනුයේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකිරීමේදී පැවැත්‌වෙන කථා ඒ අයුරින්ම වාර්තා කෙරෙන (හැන්සාඩ් නමින් හඳුන්වන) නිල වාර්තාව සකස් කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 12 මගින් විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම පැවැත්‌වෙන අතර පාර්ලිමේන්තුවේ පැවැත්‌වෙන කථා එම කථා පැවැත්‌වෙන භාෂාවෙන් ම වාර්තා කෙරේ. හැන්සාඩ් වාර්තාව යනු එක් එක් දිනයන්හි දී පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන කටයුතුවල සටහන් දීර්ඝ කාලයක් තබා ගැනීම අරමුණු කරගෙන සකස් කරන වාර්තාවකි. පාර්ලිමේන්තුවේ ඇසෙන සේ කථා කෙරෙන සෑම වචනයක්ම හැන්සාඩ් වාර්තාකරුවකු විසින් වාර්තා කරගැනීමෙන් අනතුරුව එය යළි අදාළ භාෂාවෙන් ලියා එම කථාව පැවැත් වූ භාෂාව අයත් ධාරාවට අදාළ සහකාර සංස්කාරක වෙත ඉදිරිපත් කෙරේ. සහකාර සංස්කාරකවරයාගේ මේසයට එම වාර්තාව ලැබීමෙන් පසු එය සුපරීක්ෂාකාරීව සංස්කරණය කෙරෙන අතර ඉන් අනතුරුව එය නියෝජ්‍ය සංස්කාරක සහ අවසානයේ සංස්කාරක වෙත යැවේ. දිනය අවසානයේදී, සංස්කරණය කිරීම් සහ වෙන් වෙන්ව සටහන් කළ කථාවල කොටස් නියමාකාරයෙන් එකතු කිරීමෙන් පසුව අවසාන පිටපත සකස් කරනු ලැබේ. අවසන් පිටපත පිළිබඳව සංස්කාරකවරයා සෑහීමකට පත්වීමෙන් පසුව සහ එම පිටපත මුද්‍රණය කිරීමට ඔහු අවසරය දුන් පසුව එම පිටපත මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයාධිපති වෙත යවනු ලැබේ. මෙම දෙපාර්තමේන්තුව පරිගණකගත කිරීමත් සමඟම පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන සියලුම කථා රජයේ මුද්‍රණාලයාධිපති වෙත පරිගණක ඩිස්කට් එකක් මගින් යැවීමට යෝජනා කර තිබේ. පාර්ලිමේන්තුව විසින් වරින් වර පත් කරනු ලබන විශේෂ කාරක සභා සහ වෙනත් කාරක සභාවල සිදු කෙරෙන කටයුතු වාර්තා කිරීම ද හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ වගකීම වේ. මෙම කාරක සභාවල රැස්වීම් බොහෝවිට පාර්ලිමේන්තුවේ රැස්වීම් සමඟ එකට යෙදෙන අතර සභාගැබ සිට කාරක සභා පැවැත්‌වෙන ස්ථානයටත් එහි සිට සභා ගැබටත් එහා මෙහා යෑමට හැන්සාඩ් වාර්තාකරුවන්ට සිදුවන අතර මෙම ක්‍රියාවලිය නිතරම පාහේ කළබලකාරීව සිදුවන්නකි. හැන්සාඩ් වාර්තාකරුවකු සතුව ඉහළ ලඝු ලේඛන වේගයක් තිබිය යුතු අතර ඊට අමතරව කන් සහ ඇස්වල මනා ක්‍රියාකාරීත්වයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග දේශීය හා ජාත්‍යන්තර කටයුතු යන කරුණු පිළිබඳ මනා දැනුමත් ද ඔහු සතු විය යුතු වේ. සිය දෛනික කටයුතුවලදී ඔහුට හමුවන අභියෝගවලට මුහුණ දීම පිණිස සියළුම අවස්ථාවන්හිදී සිය කායික සහ මානසික හැකියාවන් තියුණු මට්ටමින් පවත්වා ගැනීම ද සිදුවිය යුත්තකි. මෙම සියලුම ලක්ෂණ ඔහු සිය රාජකාරියෙහි යෙදී සිටිය දී ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් ම ප්‍රශ්න අසන වේලාවේදී, ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම අධික වේගයකින් සිදුවන විට සමහර අවස්ථාවලදී එම ප්‍රශ්න සහ පිළිතුරු එතරම් පැහැදිලි නොවූවත්, එම සංවාදවලදී කියැවෙන දෙය තේරුම් ගෙන සටහන්කර ගැනීමෙන් අනතුරුව නිවැරදි වාර්තාවක් සැකසීමට වාර්තාකරුට සිදුවේ. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ලබන සියලුම කරුණු සුචිගත කිරීම, මෙම දෙපාර්තමේන්තුවේම කොටසක් වන සුචිගත කිරීමේ ඒකකයේ සුචිගත කිරීමේ නිලධාරීන් පස් දෙනෙකු විසින් කරනු ලැබේ. මෙම සුචිගත කිරීම මන්ත්‍රීවරයා අනුවත් විෂය අනුවත් සිදු කරනු ලැබේ. මෙලෙස තිරස් සටහන් යොදා තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන සැමටත් තමාට අවශ්‍ය විෂය හෝ කාරණය සඳහා පහසු ප්‍රවේශයක් සලසයි. පටිගත කිරීමේ සහායකයින් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ සහ කාරක සභාවල වැඩකටයුතු පටිගත කරනු ලැබේ. හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැන්සාඩ් සංස්කාරකවරයා වන අතර ඔහුට සහාය වීම පිණිස නියෝජ්‍ය සංස්කාරකවරයෙක් ද, සහකාර හැන්සාඩ් සංස්කාරකවරුන් 11 දෙනෙක් ද හැන්සාඩ් වාර්තාකරුවන් 41 දෙනෙක් ද සුචිගත කිරීමේ නිලධාරීන් 5 දෙෙනක් සහ පටිගත කිරීමේ සහායකයින් 6 දෙනෙක් ද සිටිති. |
|