|
|
පරිපාලන දෙපාර්තමේන්තුව
1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත මගින් පාර්ලිමේන්තුව රජයේ විශේෂිත හා වෙන්වූ ආයතනයක් ලෙස පරිපාලනය කිරීමේ නෛතික විධි විධාන සකස් කොට ඇත. කාර්ය මණ්ඩලයේ පරිපාලනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම හා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම සඳහා කථානායකවරයාගේ මූලිකත්වයෙන් මුදල් ඇමතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා හා විපක්ෂ නායකවරයාගෙන් සමන්විත වන කාර්ය මණ්ඩල උපදේශන කාරක සභාවක් එමගින් ස්ථාපනය කරන ලදි. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වන්‌නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65වන ව්‍යවස්ථාව යටතේ පත්කරනු ලබන මහලේකම්වරයෙක් යටතේය. මෙම මහලේකම්වරයා කාර්යමණ්ඩල උපදේශන කාරක සභාවේ ලේකම් ලෙසද කටයුතු කරයි. පාර්ලිමේන්තුවේ පරිපාලන දෙපාර්තමේන්තුව, මානව සම්පත් සංවර්ධනය, පුහුණුව, ආයතනික හා විනය කටයුතු පිළිබඳ වගකීම දරයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතින් දෙපාර්තමේන්තුමය හා මූල්‍යමය රෙගුලාසි සකස් කිරීම සඳහා විධිවිධාන සලස්වා ඇති නමුත් පාර්ලිමේන්තුව තවමත්, එය විසින්ම සකස් කරන ලද පරිපාලන රෙගුලාසි විධිමත් ආකාරයකට සම්මත කොටගෙන නොමැත. එය දැනට අනුගමනය කරන්‌නේ රජයේ ආයතන සංග්‍රහයේ හා මුදල් රෙගුලාසි වල ඇති මූලධර්ම හා රීතීන්ය. කෙසේ වෙතත් කාර්ය මණ්ඩල උපදේශන කාරක සභාව, විනය පටිපාටිය සම්බන්ධයෙන් රජයේ ආයතන සංග්‍රහයේ දෙවන කොටසට බෙහෙවින් සමානවන රීති පද්ධතියක් නිකුත් කොට ඇත. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ආසන්න වශයෙන් 850ක් පමණ වන අතර බඳවාගැනීම්, උසස්කිරීම්, සේවයෙන් පහ කිරීම් සේවා වාර්තා, පහසුකම් හා කාර්ය මණ්ඩල නිල නිවාස ආදිය සම්බන්ධ සියලු දෙය ඉටු කරන්‌නේ පරිපාලන දෙපාර්තමේන්තුවයි. ලේඛනාගාරය ලේඛනාගාරය පවත්වාගෙන යෑම ද පරිපාලන දෙපාර්තමේන්තුවේ කාර්යයකි. මන්ත්‍රී සේවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය ද පරිපාලන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර එමගින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය, නුවරඑළිය නිවාඩු නිකේතනය, දුරකථන, තැපැල්, අන්තර්ජාල හා මන්ත්‍රීවරුන්ට සපයන අනෙකුත් පහසුකම් වලට අදාළ සියලු කටයුතු සිදු කරනු ලැබේ. ප්‍රවාහන අංශය ප්‍රවාහන අංශය ද පරිපාලන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර එමගින් කථානායකවරයාට, නියෝජ්‍ය කථානායකවරයාට හා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාට සපයන ලද වාහන ද ඇතුළුව වාහන විශාල ප්‍රමාණයක් නඩත්තු කරනු ලැබේ. නිලධාරීන්ට ලබා දෙන සැහැල්ලු වාහන වලට අමතරව බස්, ට්‍රක්රථ හා බෝට්ටු ද මේ වාහන සමූහයට ඇතුළත් වේ. |
|