| | | | | | |
 
 

පාර්ලි‌මේන්තුව නැරඹීම

 

ඡායාරූප ගැලරිය


පාර්ලි‌මේන්තුව නැරඹීම

පොදු ‌තොරතුරු 

ඕනෑම පුද්ගලයකුට රැස්වීම් පැවැත්වෙන හෝ නොපැවැත්වෙන දිනයක දී කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව මහජන ගැලරියට යා හැකිය. රැස්වීම් පැවැත්වෙන ඕනෑම දිනයක රැස්වීම අවසන් වන තුරුද, රැස්වීම් නොපැවැත්වෙන දිනයක පු.භා. 9.30 සහ අ.භා. 3.30 අතරද, කාලසීමාව තුළ විනාඩි 30ක් මේ සඳහා වෙන් කරනු ලැබේ.

රැස්වීම් පවත්වන කාලය

පාර්ලි‌මේන්තුව අන් ආකාරයකින් තීරණය කරතහොත් මිස, සෑම මාසයකම ප්‍රථම ඉරිදායින් පසු එළ‌‌ඹෙන සති‌යේ සහ එම සතියට පසුව එළ‌‌ඹෙන ‌දෙවන සති‌යේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල එනම්, මාසයක පළමු සතිය සහ තුන්වන සතිය යන සති ‌දෙකක ඉහත සඳහන් දිනවල පාර්ලි‌මේන්තුව රැස්විය යුතු‌වේ. පාර්ලි‌මේන්තුව සාමාන්‍ය‌යෙන් ‌සෙනසුරාදා, ඉරිදා සහ අනිකුත් නිවාඩු දිනවල රැස් ‌නො‌වෙන අතර පාර්ලි‌මේන්තු‌වේ රැස්වීම් සාමාන්‍ය‌යෙන් පවත්වනු ලබන්‌නේ, ප.ව. 1.00 සිට ප.ව.7.30 දක්වා ය. ඇතැම් දිනවල රැස්වීම් ප.ව. 7.30 න් පසුව ද පවත්වනු ලැ‌බේ. අයවැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළදී රැස්වීම් වෙලාවන් සාමාන්‍යයෙන් පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වාත් ප.ව. 1.00 සිට ප.ව. 7.00 දක්වාත් වන අතර කලින් කලට වෙනස් වීමට ඉඩ තිබේ.

ගැලරි සඳහා යෑමට අවසරය

මහජන ගැලරිය නැරඹීම සඳහා වේත්‍රධාරීගෙන් අවසර ලබාගත යුතුය. පාර්ලිමේන්තුවට සෘජුවම ඇමතුමක් ලබා ගැනීමෙන් හෝ විමසුම් පත්‍රිකාවක් පුරවා ඉදිරිපත් කිරීමෙන් එවැනි ඉල්ලීමක් කළ හැකිය. ඔබගේ විමසීමේ දී පහත සඳහන් තොරතුරු ලබා දිය යුතුය.

1. පැමිණෙන අයගේ සම්පූර්ණ නම් හා ලිපිනයන්
   
2. පැමිණෙන අයගේ ජාතික හැඳුනුම්පත් අංක
   
3. පැමිණෙන දිනය හා වේලාව
   
4. පැමිණීමට හේතුව
   
5. ඔබට සම්බන්ධ විය හැකි තොරතුරු

ඔබ ඉදිරිපත් කරන තොරතුරු නිසි පරිදි සකස් කිරිමෙන් පසු ඔබේ ඉල්ලීම සනාථ කිරීම සඳහා වේත්‍රධාරීවරයා ඔබ අමතා, ඉන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීම සඳහා අවසරපත නිකුත් කරනු ඇත.

පාර්ලි‌‌මේන්තුව නැරඹීමට පැමි‌ණෙන අමුත්තන් සඳහා උප‌දෙස්

1. වේත්‍රධාරී විසින් නිකුත් කරන ලද, පැමි‌‌ණෙන දිනට වලංගු, පාර්ලි‌‌මේන්තුව නැරඹී‌‌මේ අවසර පතක් හිමි අයට පමණක් පාර්ලි‌මේන්තුව නැරඹීමට ඉඩ‌දෙනු ලැ‌‌බේ. එබැවින් ‌වේත්‍රධාරී විසින් ඔබ ‌වෙත නිකුත් කරන ලද පාර්ලි‌‌මේන්තුව නැරඹීම සඳහා වූ අවසර පත ‌නොවරදවාම රැ‌ගෙන ආ යුතු අතර එය පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්‌‌ලෙන් බැහැරව යන ‌තෙක් සුරැකිව තබාගත යුතුය.
   
2. පාර්ලි‌‌මේන්තු‌‌වේ දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක විධිවිධාන මත, පාර්සල්, අත්බෑග්, බ්‍රී‌‌ෆ්කේස්, ගමන්මලු, ‌පොත්පත්, පුවත්පත්, ලිපි ‌ලේඛන, පෑන් පැන්සල්, වැහි කබා, කුඩ, කැමරා, සෙලියුලර් දුරකථන, විද්‍යුත් ‌හෝ ඉ‌ලෙක්‌‌ට්‍රොනික් ‌මෙවලම් සහ උපාංග, සිගරැට්, දුම්‌කොළ, බුලත් විට, දුම් පයිප්ප, ආහාරපාන සහ හිස්වැසුම් යනාදිය මහජන ගැලරියට ‌ගෙන ඒමට ඉඩ ‌දෙනු ‌නොලැ‌‌බේ. එබැවින් එවැනි දෑ කිසිවක් ‌ගෙන ඒ‌මෙන් වලකින්න. එකී දෑ කිසිවක් ඔබ සතුව ‌වෙ‌තොත් ඔබ පැමිණි වාහන‌යේ තබා එන්න. තවද, ඉහත කී දෑට අමතරව ගැලරිය තුළට ‌නො‌ගෙන යායුතු බ‌වට හැ‌ඟෙන යමක් ඔබ සතුව ‌වෙ‌තොත් ඒවා ද, ගැලරිය තුළට ‌ගෙන යාමට ඉඩ ‌නො‌දෙනු ඇත.
   
3. පාර්ලි‌‌මේන්තු රැස්වී‌ම් පවත්නා ‌වේලාවන් තුළ පාර්ලි‌‌මේන්තු ගැලරියට අත දරුවන් සහ ළදරුවන් කැටුව යාමට අවසර ‌දෙනු ‌නොලැ‌බෙන බැවින් එවැනි දරුවන් ‌වො‌තොත් ගැලරිය තුළ‌ට කැටුව යා‌මෙන් වැලකී සිටිය යුතුය. කුඩා ළමුන් සහ කුඩා පාසල් දරුවන් ගැලරිවල පළමු ‌පේලි‌යේ අසුන්ගැන්‌වී‌මෙන් වැලකී සිටීමට ඔබ වගබලා ගත යුතුය.
   
4. නිසි ඇඳුමින් සැරසී ‌නොපැමි‌‌ණෙන අමුත්තන්ට ගැලරිවලට ඇතුඵවීමට ඉඩ සලසනු ‌නොලැ‌‌බේ. එබැවින් මහජන ගැලරිවලට පැ‌මි‌‌ණෙන අමුත්තන් නිසි ඇඳුමකින් සැරසී පැමිණ සිටිය යුතුය.
   
5. ආරක්ෂක ‌හේතුන් මත පාර්ලි‌මේන්තු පරිශ්‍රය තුළට වාහන ඇතුළු කිරීම සීමා කර ඇති බැවින් ‌ඔ‌‌බේ වාහනය පාර්ලි‌‌මේන්තු පරිශ්‍රයට ඇතුළු‌ ‌නොකළ යුතුය. පාර්ලි‌මේන්තුව නැරඹීමට පැමි‌ණෙන අමුත්තන්‌ගේ වාහන නවතා තැබීම සඳහා පාර්ලි‌‌මේන්තු පරිශ්‍රය ඉදිරිපස ඇති ආපන ශාලාව පිහිටි භූමි භාග‌යෙහි වූ රථ ගා‌ලෙහි පහසුකම් සලසා ඇති බැවින් ඔ‌‌බේ වාහනය එහි ගාල් කරන්න.
   
6. ඉහත කී භූමි‌යෙහි ඔ‌‌බේ වාහනය ගාල් කිරී‌මෙන් අනතුරුව ඔ‌‌බේ කණ්ඩායම සමග ප්‍රධාන පාර හරහා අවුත් පාර්ලි‌මේන්තු‌‌වේ ප්‍රධාන ‌ගේට්ටුවෙන් ඇතුළු වී ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය ‌වෙත යන්න.
   
7. ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකක‌යේ ‌සේව‌යේ නියුතු ‌පොලිස් නිලධාරින්ට ඔබ අත ඇති අවසර පත ‌පෙන්වා අනතුරුව ආරක්ෂක නිලධාරී මහතුන්‌ගේ කුටිය ‌වෙත ‌ගොස් ඔබ ඇතුළු පිරිස පැමිණි බව ඔවුන් ‌වෙත දන්වන්න. ඔවුන්‌ගේ ‌ලේඛනවල ඔබ ඇතුළු පිරිස පැමිණි බවට අදාළ සටහන් තබාගැනී‌මෙන් පසු ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ඒකකය අසළ සිට පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්ල දක්වා පැමිණීම සඳහා පාර්ලි‌මේන්තු ‌බස් රථයක් ආරක්ෂක නිලධාරි විසින් ‌ගෙන්වා ‌දෙනු ඇත.
   
8. පාර්ලි‌මේන්තුවට පැමි‌ණෙන සියලුම අමුත්තන් ආරක්ෂක ‌සෝදිසි කිරීමට ලක් ‌කෙ‌රෙනු ඇත. ඒ අනුව, ජයන්තිපුර ආරක්ෂක පිරික්සුම් ‌ඒකක‌යේ දී ඔබ ඇතුළු පිරිස ආරක්ෂක පිරික්සුමකට භාජනය කරන බැවින් ශාරීරික පිරික්සුමක් සඳහා ‌පොලිස් නිලධාරීන්ට ඉඩ සැලසිය යුතු‌‌වේ.
   
9. වැසි පවතින අවස්ථාවලදී පමණක් ඔ‌‌බේ වාහනය ජයන්තිපුර පිරික්සුම් ඒකකය පිහිටි ස්ථානය දක්වා ධාවනය කිරීමට ඉඩ සලසනු ඇති අතර පැමි‌ණෙන පිරිස එම ඒකකය අසල බැස්සවී‌‌මෙන් අනතුරුව වාහනය ඉහත කී ආපනශාලාව පිහිටි භූමිභාග‌‌යෙහි ‌ගාල් කළ යුතු ‌වේ.
   
10. ශාරීරික පිරික්සුම් කිරී‌මෙන් අනතුරුව ඔබ ‌වෙනු‌වෙන් පැමිණි පාර්ලි‌මේන්තු බස් රථ‌යෙන් පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්‌‌ලේ මහජන පිවිසුම දක්වා ගමන් කරන්න. පයින් ගමන් කිරී‌මෙන් වැළකිය යුතු අතර සපයා ඇති බස් රථ‌යෙන් පමණක් ගමන් කිරීමට වග බලා ගන්න.
   
11. මහජන පිවිසුම අසළ දී බස් රථ‌යෙන් බැසිය යුතු අතර එම ස්ථාන‌යේ ‌සේව‌යේ නියුතු ‌පොලිස් නිලධාරීන් විසින් ‌ගොඩනැගිල්ලට පිවිසීම සඳහා ඇති ද්වාරය ‌වෙත ඔබව ‌යොමු කරනු ඇත.
   
12. ඉහත කී ද්වාරය අසළ දී ආරක්ෂක පිරික්සුමකට ඔබව නැවත ‌යොමු කරන බැවින් පිරිමි පාර්ශ්වය දකුණු පසින් සහ කාන්තා පාර්ශ්වය වම් පසින් වන ‌සේ ‌පෝලිම් ‌දෙකක් වශ‌යෙන් ‌පෙළ සෑදී‌මෙන් පිරික්සුම් කටයුතු පහසු වන අතර ඔ‌බේ කණ්ඩාය‌මේ ප්‍රධානියා විසින් ඔහු‌ගේ ජාතික හැඳුනුම්පත සහ ‌වේත්‍රධාරී විසින් ඔබ ‌වෙත නිකුත් කර ඇති අවසර පත එම ස්ථාන‌‌යේ ‌සේව‌යේ නියුතු ‌පොලිස් නිලධාරීන් ‌වෙත ඉදිරිපත් කළ යුතුය.
   
13. මහජන පිවිසුම් ද්වාර‌‌යෙන් ඔබට පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්ලට පිවිසිය හැකි අතර බටහිර පියගැට ‌පෙළ ඔස්‌සේ මහජන ගැලරිය දක්වා ගමන් කිරීමට අවසර ‌දෙනු ලැ‌‌බේ. පාර්ලි‌මේන්තු ‌පොලිසි‌යේ නිලධාරීන් සහ පාර්ලි‌මේන්තු‌වේ නිලධාරීන් විසින් ඔබව එම මාර්ගයට ‌යොමු කරවන අතර ඉන් බැහැර ප්‍ර‌දේශවලට ගමන් ‌නොකිරීමට වගබලා ගන්න.
   
14. කරුණාකර පියගැට‌ ‌පෙළ ඔස්‌සේ ගමන් කිරී‌මේදී වි‌ශේෂ‌යෙන්ම ඔබ සමග පැමි‌ණෙන පාසල් දරුවන් සහ අ‌නෙකුත් දරුවන් සංයම‌යෙන් යුතුව ප්‍ර‌වේශ‌මෙන් ගමන් කරන බව‌ට ඔබ විසින් වගබලා ගත යුතුය.
   
15. ඔ‌බේ කණ්ඩායමට අයත් සාමාජික සාමාජිකාවන් මහජන ගැලරි‌යේ සිටින විට ‌මෙන්ම ‌ගොඩනැගිල්ල තුළ ‌කවර ‌හෝ ස්ථානයක සිටිනා විට දී පූර්ණ නිශ්ශබ්දතාව රැක ගත යුතු‌වේ. ඔවුන් ආයතනික කටයුතුවලට බාධා ‌නොවන පරිදි නිහඬව සිටින බවටත්, විනීතව හැසි‌රෙන බවටත්, මහජන ගැලරිවල සහ ආයතන‌යේ ඇති ශ්‍රවණ උපකරණ සහ ‌වෙනත් උපකරණ ආදියට හානි ‌නොවන පරිදි හැසි‌රෙන බවටත්, ඔබ විසින් වගබලා ගත යුතුය.
   
16. මහජන ගැලරි‌යේ සිටින විට දුම්බීම, කථාබස් කිරීම, අත්‌පොලසන් දීම, විවිධ ප්‍රීති ‌ඝෝෂා පැවැත්වීම, විවිධ ශබ්ද නැඟීම, ‌කෙලි කවටකම් හා උසුළු විසුළු කිරීම, එහා ‌මෙහා ඇවිදීම, සිට‌ගෙන සිටීම, ‌විනෝද වීම, ඉඟි බිඟි පෑම, සභා ගර්භය තුළට එබී බැලීම හා ඇඟිලි ‌හෝ අතපය ‌හෝ ‌වෙනත් දෑ ‌හෝ සභා ගර්භය දෙසට දිගු කිරීම, විවිධ දෑ සභා ගර්භය තුළට විසි කිරීම, ගරු මැති ඇමතිවරුන්ට අත වැනීම හා සංඥා කිරීම, නිදා ගැනීම, සටහන් ලියා ගැනීම, ‌පොත් පත් කියැවීම යනාදිය සපුරා තහනම් ‌වේ.
   
17. මහජන ගැලරිය තුළ සිටිනා විට දී ආරක්ෂක වැටවල් උඩින් පැනීම, පුවත්පත් ගැලරිවල අසුන් ගැනීම ‌නොකළ යුතු අතර මහජන ගැලරි‌යේ ‌සේව‌යේ නියුතු පාර්ලි‌මේන්තු නිලධාරියා ‌හෝ ‌පොලිස් නිලධාරියා ‌හෝ විසින් නියම කරන ස්ථානවල වාඩි විය යුතුය. සභා ගර්භය තුළ ‌නොසන්සුන් අවස්ථා එළැඹිය ‌හොත් ‌පොලිස් නිලධාරීන් විසින් මහජන ගැලරිවල සිටින පිරිස් ඉන් බැහැර කරන අතර ඔබ ඊට එකඟ විය යුතුය.
   
18. මහජන පිවිසුම පිහිටි ප්‍ර‌දේශය ඔස්‌සේ නිතර වාහන ධාවනය වන බැවින් ගැලරි‌යේ සිට මහජන පිවිසුමට ආපසු පැමිණී‌‌මෙන් අනතුරුව වි‌ශේෂ‌යෙන්ම ඔ‌‌බේ කණ්ඩාය‌මේ සිටින දරුවන් ඔබ ‌මොබ ‌නොයා විනීතව තබා ගැනීමට සැලකිලිමත් වන්න.
   
19. මහජන පිවිසු‌මේ සිට ආපසු ජයන්තිපුර පිරික්සුම් ස්ථානය දක්වා ඔබ ඇතුළු පිරිසට ගමන් කිරීම සඳහා ‌යොදවා ඇති බස් රථය පැමි‌ණෙන ‌තෙක් සන්සුන්ව සිටින ‌ලෙස ඔබ‌ගේ පිරිසට (වි‌ශේෂ‌යෙන්ම දරුවන්ට) උප‌දෙස් ‌දෙන්න.
   
20. දියවන්නා ඔ‌යේ ඉවුර අසළ එක් ‌රොක් වීම අන්තරාදායක බැවින් ඔබ කණ්ඩාය‌මේ දරුවන්ට හා ‌සෙසු සාමාජික සාමාජිකාවන්ට එම ඉවුර ආසන්න‌යේ රැඳී සිටීමට ඉඩ ‌නො‌‌දෙන්න.
   
21. පාර්ලිමේන්තුව නරඹා පිටව යෑමේදී පමණක් මහජන පිවිසුම අසල ඇති පාර්ලිමේන්තු සමරු භාණ්ඩ අලෙවි සැලෙන් සමරු භාණ්ඩ මිල දී ගත හැකිය.
 
 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.