| | | | | | |
 
  පාර්ලි‌මේන්තු‌වේ ව්‍යවස්ථාදායක බලය
  පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියා පටිපාටිය
  රජයේ පනත් ‌කෙටුම්පත්
   
- රජයේ පනත් ‌කෙටුම්පත් වලට අදාළ කාර්යයන්
  පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
 

ස්ථාවර කාරක සභා සහ වි‌ශේෂ කාරක සභා වලට අදාළ කටයුතු

  පනත් සහ පනත් කෙටුම්පත්

රජයේ පනත් ‌කෙටුම්පත්

රජයේ පනත් ‌කෙටුම්පත් පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය

1.

78 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් දින 7 කට පසු න්‍යාය පත්‍රයේ පළ කරනු ලබන සාමාන්‍ය පනත් කෙටුම්පත්.

   
2.

78 වැනි ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලයේ මතය අනුව ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය වන්නා වු බැවින් ගැසට් පත්‍රයේ පළ කිරීම අවශ්‍ය නොවන පනත් කෙටුම්පත්.

   
3.

82, 83 සහ 84 වන ව්‍යවස්ථා ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම පිණිස වන පනත් කෙටුම්පත්.

   
4.

154උ(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව නව වන උපලේඛනයේ 1 වන ලැයිස්තු‌වේ (පළාත් සභා ලැයිස්තුවේ) සඳහන් කාරණා සම්බන්ධයෙන් පළාත් සභා මගින් සාදන ලද ප්‍රඥප්ති.

   
5.

154(උ)(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌‌වේ XVII අ පරිච්‌‌ඡේදය හෝ නමවන උප‌ලේඛනය සංශෝධනය හෝ පරිච්චින්න කිරීම පිණිස වන පනත් කෙටුම්පත්.

   
6.

154(උ)(3) ව්‍යවස්ථාව ප්‍රකාරව පළාත් සභා ලැයිස්තු‌වෙහි කාරණා සම්බන්ධ‌යෙන් පාර්ලි‌මේන්තුව විසින් සම්මත කිරීම පිණිස වන පනත් ‌කෙටුම්පත්.

   
7.

154(උ)(4) ව්‍යවස්ථාව ප්‍රකාරව පළාත් සභා ලැයිස්තු‌වෙහි කාරණා සම්බන්ධ‌යෙන් පළාත් සභාවල ඉල්ලීම මත පාර්ලි‌මේන්තුව විසින් සම්මත කිරීම පිණිස වන පනත් ‌කෙටුම්පත්.

   
8.

154(උ)(5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව නව වන උප‌ලේඛන‌යෙහි III ලැයිස්තුවේ (සමාගමී ලැයිස්තුවේ) කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම පිණිස වන පනත් කෙටුම්පත්.

   
9.

154(උ)(5)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව සමගාමී ලැයිස්තු‌වෙහි කාරණා සම්බන්ධ‌යෙන් පළාත් සභා විසින් සාදනු ලබන ප්‍රඥප්ති.

   
10.

විසර්ජන පනත් ‌කෙටුම්පත.


රජයේ පනත් ‌කෙටුම්පත් සම්බන්ධ කාර්ය පටිපාටිය

1.

පළමුවර කියවීම

කැබිනට් අමාත්‍යවරයකු‌ගේ ‌හෝ නි‌යෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඉල්ලීම පරිදි 78 ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් පත්‍ර‌යේ පළ කිරී‌මෙන් දින හතකට පසුව 45 ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව පළමුවර කියවීම සඳහා පනත් ‌කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැ‌බේ. පළමුවර කියවීම ‌යෝජනා කරනු ලැබී‌මෙන් පසුව පාර්ලි‌මේන්තුව විසින් පනත් ‌කෙටුම්පත මුද්‍රණය කිරීමට නි‌යෝග කරනු ලැ‌බේ.

පළමුවර කියවී‌මේ සිට දින 07 ක් ඉකුත්වීමෙන් පසු 45 සහ 50(1) ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව ‌දෙවන වර කියවීම පිණිස පනත් ‌කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැ‌බේ.

121 ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් ‌කෙටුම්පතකට එ‌රෙහිව ‌ශ්‍රේෂ්ඨාධිකරණ‌යෙහි ‌පෙත්සමක් ‌ගොනු කරනු ලැබ ඇති වි‌ටෙක ස්ථාවර නි‌යෝග 50(2) ප්‍රකාරව ‌ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු‌වේදී නි‌වේදනය කරනු ලැබී‌මෙන් පසුව පනත් ‌කෙටුම්පත ‌දෙවන වර කියවීම සඳහා දින නියම කරනු ලැ‌බේ.

122 ව්‍යවස්ථා‌වේ විධිවිධාන සලස්වා ඇති පරිදි හදිසි පනත් කෙටුම්පත් 45 සහ 46 ස්ථාවර නි‌යෝග ප්‍රකාරව ‌දෙවන වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන්‌නේ ‌ශ්‍රේෂ්ඨාධිකරණ‌යේ තීරණය පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබී‌මෙන් පසුවය.

154 (උ)(5)(අ) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයෙහි III ලැයිස්තු‌‌වේ (සමගාමී ලැයිස්තුවේ) සඳහන් කාරණා සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත් පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කරන ලද විටෙක එවැනි පනත් කෙටුම්පත් 46(අ)(2)(අ) ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව පළාත් සභා වල අදහස් ලබා ගැනීම සඳහා එම සභා වලට යොමු කරනු ලැබේ. එම අදහස් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබීමෙන් පසුව 46(අ)(2)(ආ) ස්ථාවර නියෝගය ප්‍රකාරව පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අවශ්‍ය කටයුතු කරනු ලැබේ.

154 (උ)(5)(ආ) ව්‍යවස්ථාව යටතේ නව වන උපලේඛනයේ III ලැයිස්තුව (සමගාමී ලැයිස්තුව) තුළ සඳහන් කාරණා සම්බන්ධයෙන් වන පළාත් සභාවක යෝජිත ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට ලැබුණු විටෙක එය ලැබුණු බව පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනු ලැබීමෙන් පසුව 46(අ)(3)(අ) ස්ථාවර නියෝගය ප්‍රකාරව වාර්තාවක් ලබාගනු පිණිස එය ස්ථාවර කාරක සභාවකට යොමු කරනු ලැබේ. වාර්තාව සලකා බලනු ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ අදහස් 46අ(3)(ආ) ස්ථාවර නියෝගය ප්‍රකාරව අදාළ පළාත් සභාව වෙත යවනු ලැබේ.

   
2.

දෙවැනි වර කියවීම

පනත් ‌කෙටුම්පතක් ‌දෙවැනි වර කියවී‌මේදී එය 51 ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව විවාදයට භාජනය කරනු ලැබිය හැකිය.

විසර්ජන පනත් ‌කෙටුම්පත සම්බන්ධ‌යෙන් නම් පනත් ‌කෙටුම්පත සලකා බැලීම පිණිස 70 ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව දින විසිහයක් ‌වෙන් කරනු ලැ‌බේ.

   
3.

පනත් ‌කෙටුම්පත්වල කාරක සභා අවස්ථාව

දෙවැනි වර කියැවීමෙන් පසු, පනත් කෙටුම්පත (එය විසර්ජන පනත් කෙටුම්පතක් නොවන්නේ නම්) පුර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් වෙතද, එසේ නොමැති නම් 52 ස්ථාවර නි‌යෝග‌යේ ප්‍රකාරව අමාත්‍යවරයකු‌ගේ ‌හෝ නි‌යෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඉල්ලීම මත විශේෂ කාරක සභාවක් හෝ ස්ථාවර කාරක සභාවක් වෙත යොමු කරනු ලැබේ.

පනත් ‌කෙටුම්පත වි‌ශේෂ කාරක සභාවක් ‌හෝ ස්ථාවර කාරක සභාවක් ‌වෙත ‌යොමු ‌කෙරුණු වි‌ටෙක 53 වන ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව එම කාරක සභාව එම පනත් ‌කෙටුම්පත සම්බන්ධ‌යෙන් පාර්ලි‌මේන්තුවට වාර්තා කර සිටින ‌තෙක් ඒ සම්බන්ධ‌යෙන් ඉදිරි ක්‍රියාමාර්ග ‌නොගැනේ.

52 ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව පනත් ‌කෙටුම්පත පූර්ණ පාර්ලි‌මේන්තු කාරක සභාවක් ‌වෙත ‌යොමු කරන ලද විට එම කාරක සභා‌වේ වැඩ කටයුතු 86 සිට 93 දක්වා වන ස්ථාවර නි‌යෝග ප්‍රකාරව සිදු කරනු ලැබේ.

52 වන ස්ථාවර නියෝගය ප්‍රකාරව පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් වෙත යොමු කරනු ලැබ ඇති විටෙක, එම කාරක සභා‌වේදී පනත් ‌කෙටුම්ප‌තේ සියලු වගන්ති පිළිබඳව සාකච්ඡා කරනු ලබන අතර 54,55,56,57,58,59 සහ 60 වන ස්ථාවර නි‌යෝග ප්‍රකාරව පනත් ‌කෙටුම්ප‌තේ වගන්තිවලට සං‌ශෝධන යෝජනා කරනු ලැබිය හැකි‌වේ. පනත් ‌කෙටුම්පතට නව වගන්ති සහ නව උප‌ලේඛන ‌යෝජනා කරනු ලබන වි‌ටෙක, ඒවා ‌දෙවන වරටද කියවනු ලැබිය යුතු වන අතර ඉන් අනතුරුව, 61 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාරව පනත් කෙටුම්පතේ පුර්විකාව සහ නාමය සලකා බලනු ලැබිය යුතුවේ. සංශෝධන වල ස්වභාවය 37,38,39,40 සහ 41 වන ස්ථාවර නියෝගවල දක්වා ඇත. සියලු සංශෝධන 38 (1) නියෝගය ප්‍රකාරව ලිඛිතව මහලේකම් වෙත භාර දෙනු ලැබිය යුතුවේ.

පනත් ‌කෙටුම්පත වි‌ශේෂ කාරක සභාවක් ‌හෝ ස්ථාවර කාරක සභාවක් ‌වෙත ‌යොමු කරනු ලැබ ඇති වි‌ටෙක එම කාරක සභා‌වේ වාර්තාව 63, 64 සහ 65 වැනි ස්ථාවර නි‌‌යෝග ප්‍රකාරව පාර්ලි‌මේන්තුව ‌වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ‌වේ.

ස්ථාවර කාරක සභා‌වේ රැස්වීම් කටයුතු සිදු කරනු ලබන්‌නේ අංක 116 සිට 120 දක්වා වන ස්ථාවර නි‌යෝග ප්‍රකාරවය.

වි‌ශේෂ කාරක සභා‌වේ රැස්වීම් කටයුතු සිදු කරනු ලබන්‌නේ අංක 94 සිට 103 දක්වා වන ස්ථාවර නි‌යෝග ප්‍රකාරව.

විසර්ජන පනත් ‌කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාව

විසර්ජන පනත් ‌කෙටුම්පත පූර්ණ පාර්ලි‌මේන්තු කාරක සභාවට ‌යොමු කරනු ලැබූ විට, එම කාරක සභාව 131 ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව එහි සියළු වගන්ති, වැය ශීර්ෂ සහ උප‌ලේඛනයන් සලකා බලා ‌යෝජිත සං‌ශෝධනයන් ද සමඟින් පාර්ලි‌මේන්තුවට වාර්තා කළ යුතුය. 24 ස්ථාවර නි‌යෝග‌යෙහි කුමක් සඳහන්ව තිබුණ ද, ඕනෑම වැඩසටහනක්, ව්‍යාපෘතියක් ‌හෝ වැය විෂයක් අඩු කිරීම සඳහා වන ‌යෝජනා පිළිබඳව 131(9) ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව දැනුම් දීම අවශ්‍යය.

4.

තුන්වන වර කියවීම

පූර්ණ පාර්ලි‌මේන්තු කාරක සභාව පනත් කෙටුම්පත සලකා බැලීම නිම කළ පසු, සභාපතිතුමා 62 ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව සං‌ශෝධන ඇතිව ‌හෝ නැතිව පනත් ‌කෙටුම්පත පිළිබඳව පාර්ලි‌මේන්තුවට වාර්තා කළ යුතුය.

ස්ථාවර කාරක සභාවක හෝ විශේෂ කාරක සභාවක වාර්තාව සලකා බැලීම සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ස්ථාවර නියෝග අංක 67 ප්‍රකාරව සිදු කරනු ලැබිය යුතුය.

පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමෙන් පසුව, 66 සහ 67 ස්ථාවර නියෝග ප්‍රකාරව එය තුන්වන වරට කියවා සම්මත කරනු ලැබේ.

තුන්වන වර කියවීමේදී ස්ථාවර නියෝග අංක 68 ප්‍රකාරව, දැනුම්දීමකින් අනතුරුව කරනු ලබන යෝජනා සම්මතයක් අනුව වචන වලට හෝ කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාවලට හෝ පමණක් සීමා වූ සංශෝධනය ඊට කළ හැකි වන අතර, 79 හෝ 80 වැනි ව්‍යවස්ථා ප්‍රකාරව ස්ථාවර නියෝග අංක 69 යටතේ කථානායකතුමාගේ සහතිකය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

 
     
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.