|
විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා
මෙම ස්වභාවයේ කාරක සභා අටක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි දැනට ක්‍රියාත්මක වේ. ඒවා පහත දැක්‌වේ.
තේරීම් කාරක සභාව
සෑම සැසියක් ආරම්භයේදීම, උපදේශක කාරක සභාවල හා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවල සංඛ්‍යාව, ඒවායේ කාර්යභාරය හා සංයුතිය කවරක්ද යන්න සලකා බැලීමත් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සේවය කරනු පිණිස සාමාජිකයින් නම් කිරීමත් සඳහා මෙම කාරක සභාව පත් කරනු ලැබේ. සභාපති වශයෙන් කථානායකතුමාගෙන් සහ එක් එක් සැසිය ආරම්භයේදී පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලැබිය යුතු පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්‌ගේ නියෝජිතයින් ඇතුළත් සාමාජිකයින් දස දෙනකුගෙන් තේරීම් කාරක සභාව සමන්විත වෙයි.
ගෘහ්‍ය කාරක සභාව
සභාපති වන කථානායකතුමාගෙන් සහ මන්ත්‍රීවරුන්ගේ සුව පහසුව සහ පහසුකම් සම්බන්ධ සියළු කාරණා පිළිබඳව සලකා බැලීමට සහ ඒ පිළිබඳව උපදෙස් දීමට තේරීම් කාරක සභාව විසින් නම් කරන මන්ත්‍රීවරුන් නව දෙනකුගෙන් මෙය සමන්විත වේ.
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
මෙම කාරක සභාව එහි සභාපති වන කථානායකතුමාගෙන් ද, නියෝජ්‍ය කථානායකතුමාගෙන් ද, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාගෙන් ද. තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් සය දෙනකුගෙන් ද සමන්විත වෙයි. මෙම කාරක සභාවෙහි කාර්යය වන්නේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සහ රැස්වීම් පැවැත්වීම පිළිබඳව සලකා බලා ස්ථාවර නියෝගවලට යම් සංශෝධන නිර්දේශ කිරීමයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
සභාපති වන කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, පාර්ලිමේන්තුවේ සභානායකතුමා, විපක්ෂ නායකතුමා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් පස් දෙනකුගෙන් මෙය සමන්විත වේ. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ කථානායකතුමා විසින් සභානායකතුමාගේ අදහස් විමසා, කාරක සභාවට යොමු කිරීම පිණිස නියම කරනු ලබන පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා වෙන් කළ යුතු කාලය සහ වෙනත් කරුණු සලකා බලා තීරණය කිරීමය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
මෙය පාර්ලිමේන්තුවෙහි ඇති මූල්‍ය කාරක සභා දෙකෙන් එකකි. එය තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත වෙයි. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ පොදු විය හියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් දෙනු ලබන මුදල් ඒ ඒ කටයුතුවලට යෙදැවුණු අන්දම දැක්‌වෙන ගිණුම් පරීක්ෂා කිරීමය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
මෙය තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වන පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාවයි. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ රජයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය.
ඕනෑම පුද්ගලයෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභා දෙකට බලය තිබේ.
වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් දස දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. පර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කරනු ලබන යෝජනාවක් මත පාර්ලිමේන්තුව විසින් තමා වෙත යොමු කරනු ලබන සෑම වරප්‍රසාද ප්‍රශ්නයක්ම මේ කාරක සභාව විසින් පරීක්ෂා කරනු ලබයි. එසේ පවරනු ලබන එක් එක් කරුණට අදාළ තොරතුරු අනුව යම් වරප්‍රසාද කඩවීමක් සිදුවී තිබේ ද, එසේ සිදුවී ඇත්නම් එම වරප්‍රසාද කඩවීමේ ස්වභාවය සහ එයට තුඩුදුන් කරුණු නිගමනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමත්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළ සඳහන් කිරීමත් කාරක සභාව සිදු කරයි.
කාරක සභාවට යොමුකරනු ලබන කාරණා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීම සඳහා අවශ්‍ය වන පරිදි පුද්ගලයන්, ලේඛන හෝ වෙනත් වාර්තා කැඳවීමටත්, අවශ්‍ය වන වෙනත් සියලුම කාර්යයන් කිරීමටත් කාරක සභාවට බලය ඇත.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
තේරීම් කාරක සභාව නම් කරන සාමාජිකයන් දස දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. මෙම කාරක සභාවේ කාර්යය වන්නේ මහජනතාව විසින් යොමු කරන ලදුව පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන පෙත්සම් සලකා බලා ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ තම අදහස් පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමයි. තමන් ඉදිරියට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට හා ප්‍රශ්න කිරීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක්, හෝ වෙනත් ලේඛනයක් ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළ වලට ප්‍රවේශ වීමටත් මේ කාරක සභාවට බලය ඇත.
ස්ථාවර නියෝග අනුව මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සමක් ඉදිරිපත් කරන පිළිවෙල
| ස්ථාවර නියෝග 25අ - පෙත්සම් |
| (1) |
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සෑම පෙත්සමක්ම කථානායකතුමා නමට ඉදිරිපත් කළ යුතු අතර මන්ත්‍රීවරයකු විසින් පිළිගන්වනු ලැබිය යුතුය. |
| (2) |
සෑම පෙත්සමක්ම ගෞරවාන්විත භාෂාවෙන් විය යුතු අතර, එහි අදාළ නොවන ප්‍රකාශ අන්තර්ගත නොවිය යුතුය. |
| (3) |
සෑම පෙත්සමක්ම පැහැදිලිව කියවිය හැකි විය යුතු අතර, ඉල්ලා සිටිනු ලබන සහනය ප්‍රකාශ කෙරෙන ආයාචනයකින් එය අවසන් විය යුතුය. |
| (4) |
අසනීපයක් හේතුවෙන් නොහැකියාවට පත් වූ අවස්ථාවක හැර සෑම පෙත්සමක්ම පෙත්සම්කරු හෝ පෙත්සම්කරුවන් හෝ විසින් අත්සන් කරනු ලැබිය යුතුය. ලිවිය නොහැකි කෙනකු සාක්ෂිකරුවකු ඉදිරියේ තම සළකුණු තැබිය යුතුය. පෙත්සමකට අත්සන් තබන සෑම තැනැත්තකුගේම සම්පූර්ණ නම හා ලිපිනය එහි සඳහන්ව තිබිය යුතුය. |
| (5) |
යම් පෙත්සමකට කවර හෝ ලිපි, දිවුරුම් පත්‍ර හෝ වෙනත් ලේඛණ අමුණා නොතිබිය යුතුය. |
| (6) |
යම් පෙත්සමක, පාර්ලිමේන්තුවේ කිසිම විවාදයක් පිළිබඳ සඳහනක් නොකළ යුතුය. |
| (7) |
තමාගේම පෙත්සමක් පිළිගැන්වීමේ බලය මන්ත්‍රීවරයකුට නොතිබිය යුතුය ; එහෙත් එය වෙනයම් මන්ත්‍රීවරයකු විසින් පිළිගන්වනු ලැබිය හැකිය. |
| (8) |
සෑම පෙත්සමක්ම එය පිළිගැන්වීමට පෙර මුලින් එය භාර මන්ත්‍රීවරයා විසින් අත්සන් කරනු ලැබ, යටත් පිරිසෙයින් සම්පූර්ණ දින දෙකක්වත් මහ ලේකම්වරයා වෙත තිබෙන සේ එය ඔහුට භාරදිය යුතුය. ඔහු විසින් එය කථානායකතුමාගේ අනුමතය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතුය. තවද කිසිම පෙත්සමක් එසේ අනුමත කරනු ලබන තුරු නොපිළිගැන්විය යුතුය. |
| (9) |
පෙත්සමක් පිළිගන්වනු ලබන මන්ත්‍රීවරයකු විසින් තම ප්‍රකාශය පහත දැක්වෙන ආකෘතියට සීමා කළ යුතුය :-
ගරු කථානායකතුමනි, .............................. (ලිපිනය) පදිංචි .............................. ගෙන් (පෙත්සම්කරුගේ නම) සහ වෙනත් .............................. දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.’
මේ ප්‍රකාශය මත කිසිම විවාදයකට අවසර නොදිය යුතුය. |
| (10) |
පෙත්සමක් පාර්ලිමේන්තුවට පිළිගැන්වීමෙන් පසු එය මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත පැවරී තිබිය යුතුය. |
උසස් නිලතල පිළිබඳ කාරක සභාව
කැබිනට් මණ්ඩලය මඟින් කිසියම් තනතුරක් සඳහා පත් කරන ලද්දා වූ හෝ කිසියම් නිලයක් දැරීමට නම් කරන ලද්දාවූ ඕනෑම පුද්ගලයෙකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කර බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිදු කරනු ලබයි. දැනට මෙම කාරක සභාව විසින් පහත කාණ්ඩ වලට අයත් නිලධාරීන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කරනු ලබයි.
1) සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු
2) විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල වල ප්‍රධානීන් වශයෙන් පත් කිරීමට යෝජිත පුද්ගලයින්
3) සංස්ථා, මණ්ඩල හා අනෙකුත් රාජ්‍ය ආයතන වල සභාපතිවරු
කාරක සභාවේ ලේකම් වෙත යම් කිසි නම් කිරීමක් ලැබූණු විට එක් එක් නම් කරනු ලැබූ තැනැත්තා විසින් තමන්ගේ පුද්ගලික විස්තර හා වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා නිර්දේශිත ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකිය.
ඉහත පත් කිරීම් සම්බන්ධයෙන් යම් කිසි කරුණු දැන්වීමක් සිදු කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමට මහජනතාවට ඇරයුම් කරමින් භාෂා තුනෙන්ම පුවත්පත් වල දැන්වීම් පළ කිරීමට කාරක සභාවේ ලේකම් පියවර ගනී.
වරින්වර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාවට බලය ඇති අතර පාර්ලිමේන්තුව වාරවසාන කොට ඇති වුවද කාරක සභාව සිය පරීක්ෂණ කටයුතු කරගෙන යා යුතුය.
කාරක සභාවක සේවය කිරීමට අකමැති කිසිදු සාමාජිකයකු කාරක සභාවකට පත් නොකළ යුතුය. කාරක සභාවලට සාමාජිකයන් නම් කිරීමට පෙර ප්‍රධාන සංවිධායකවරුන්ගේ සහ පක්ෂ නායකයන්ගේ උපදෙස් ද විමසනු ලැබේ. තේරීම් කාරක සභාව සාමාන්‍යයෙන් විවිධ කාරක සභා සඳහා සාමාජිකයන් පත් කරන්නේ පාර්ලිමේන්තුව තුළ එම පක්ෂවල නියෝජනයට සමානුපාතික වන ආකාරයටය.
එක් එක් කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව ද වෙනස් වේ. ස්ථාවර කාරක සභා බහුතරයක සිටින්නේ සාමාජිකයන් 20 දෙනා බැගිනි. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සම්බන්ධයෙන් ගත් කල අවම සාමාජික සංඛ්‍යාව නවයක් වේ.
කාරක සභාවක සභාපති ධූරය සාමාන්‍යයෙන් ලැබෙනුයේ බලයේ සිටින පක්ෂයේ සාමාජිකයෙකුටය. ගෘහ්‍ය කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වැනි කාරක සභාවල සභාපතිවරයා වන්නේ කථානායකතුමාය. විශේෂ කරුණු සඳහා වන අනෙකුත් කාරක සභාවල සභාපතිවරු කාරක සභාවේ සාමාජිකයන් අතරින් තෝරා ගැනෙනි. විශේෂ කාරක සභාවල සභාපතිවරුන් පත් කරනු ලබන්නේ කථානායකතුමා විසිනි.
ස්ථාවර නියෝගවල වෙනත් ආකාරයකින් නිශ්චිත වශයෙන් දක්වා නැතිනම්, කාරක සභාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය වන ගණ පූරණය, කාරක සභාවේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්න වන පරිදි නිගමනය කරනු ලැබේ. අවශ්‍ය කෙරෙන ගණ පූරණය නොමැතිව එම කාරක සභාව ක්‍රියාත්මක නොකිරීම එහි සභාපතිවරයාගේ රාජකාරිය වනු ඇත.
ඒකාකාර රීති මාලාවක් යටතේ ක්‍රියාත්මක වන එකිනෙකට මනාව බැඳුණු කාරක සභා ක්‍රමයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සකස් කරනු ලැබ තිබේ. සභාවේ කාලය ඉතිරි කිරීමේ පැහැදිලිව පෙනෙන වාසියට අමතරව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ද මේ කාරක සභා දායක වී තිබේ.
කාරක සභාවක ඵලදායී බව බොහෝ සෙයින් තීරණය වන්නේ එහි සභාපතිවරයාගේ පෞරුෂය මතය. කාරක සභාවේ සියලුම සාමාජිකයන්ගේ ශක්තීන් ඒකරාශී කිරීමට සභාපතිවරයාට අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමේ ක්‍රම සහ විධි සොයා ගැනීමට ඔහුට හැකිය. අනු කාරක සභා පත් කිරීමෙන් හා යම් යම් සාමාජිකයන් එම අනු කාරක සභාවල සභාපතිවරුන් ලෙස පත් කිරීමෙන් එම සාමාජිකයන්ට යම් කිසි වගකීමක් පැවරීමට ද ඔහුට හැකිය.
තමන්ගේ කාර්ය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සාමාජික කණ්ඩායමක් මේ සියලුම කාරක සභාවල සිටියි. කාරක සභාවේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නේත් රැස්වීම් වලට නිරන්තරයෙන් සහභාගී වන්නේත් මේ කණ්ඩායමයි. මෙම කාරණය සැලකිල්ලට ගත යුතු වන්නේ, මනා ලෙස වැඩිදියුණු කැරෙන්නේ නම් එය කාරක සභාවේ ඵලදායී ක්‍රියාකාරීත්වයට රුකුලක් වන බැවිනි.
බ්‍රිතාන්‍යයේ ප්‍රභවය ලද්දක් වුව ද ශ්‍රී ලංකාවේ කාරක සභා ක්‍රමය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හා සමාජයේ වෙනස්වන තත්ත්වයන්ට අනුව තම ස්වභාවය වෙනස් කොට ඇත. කාරක සභා වැඩි බලතල තමා සතු කරගෙන ඇති අතරම පුළුල් කාර්ය ක්ෂේත්‍රයක් ද ආවරණය කරයි. ඒ සමඟම, පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතුවලට විශාල හා වටිනා දායකත්වයක්ද එමගින් ලැබී තිබේ.
|
|