|
ආසන පහසුකම්
සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට ආසන පහසුකම් සලසා ඇත්‌තේ මේස සහිතව තට්ටුවෙන් තට්ටුව උස් වන පරිදි සවි කළ ආසන මගිනි. සභා ගර්භය තුළ වායු සමීකරණ පහසුකම් ද සහිතව මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පනවා ඇති අතර සභා ගැබේ මූලික ව්‍යුහය වෙනස් නොකර තවත් 16 දෙනෙකුට එහි ආසන පහසුකම් සැලසිය හැකිය. ඔවුනොවුන්ට හිමි ආසන ප්‍රමාණය පදනම්කර ගනිමින් ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් සඳහා සභාව තුළ ආසන පනවා ඇත. ආණ්ඩු පක්ෂය මූලාසනයේ දකුණු පසින් ද, විපක්ෂ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වම් පසින් ද, සිටින සේ සභා ගර්භය තුළ අසුන් පනවා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වසර සයක කාල සීමාවක් සඳහා තෝරා ගත් මන්ත්‍රීවරුන් දෙසීය විසිපස් දෙනෙකුගෙන් පාර්ලිමේන්තුව සමන්විත විය යුතුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 සහ 99 ව්‍යවස්ථාවල පාර්ලිමේන්තුවේ සංයුතිය පෙන්වා දී තිබේ. මන්ත්‍රීවරුන් 196 දෙනෙකු ජනතාව විසින් මහ මැතිවරණයක දී කෙළින්ම තෝරා පත් කර ගන්නා අතර එවන් මහ මැතිවරණයකදී තරග වදින එක් එක් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් අතර ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඉතිරි ආසන 29 බෙදා හරිනු ලැබේ.
විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ විශේෂ කුටි කීපයක් සභා ගර්භයේ පහළ කොටසෙහි පිහිටා තිබේ. හැන්සාඩ් නිලධාරීන් සඳහා වෙන් වූ කුටි සහ පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා වෙන් වූ කුටි පිළිවෙලින් මූලාසනයේ වම් සහ දකුණු පැතිවල පිහිටා තිබේ. පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශාවේ පිහිටා ඇත.
සභා ගර්භය දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර ඒ තුළින් මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුළු වේ. මන්ත්‍රීවරුන් හට අසුන් ගෙන සුහද සාකච්ඡාවල යෙදීම සඳහා මෙම ආලින්දයන්හි සුවපහසු ආසන සහ අවශ්‍ය අනිකුත් උපකරණ සපයා තිබේ.
|