|
|
ඡන්දය ප්‍රකාශ කිරීමේ පරමාර්ථය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ අරමුණු සඳහා ඡන්දය විමසනු ලැබේ.
පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පත්කර ගැනීම
තම ධූරකාලය ඉක්මවීමට පෙරාතුව ජනාධිපති ධුරය යම් හෙයකින් පුරප්පාඩු වූ කල්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ දැක්‌වෙන ආකාරයෙන් වූ විශේෂිත ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතු වේ. මෙම අදියරේදී පුරප්පාඩුව පිරවීමට පාර්ලිමේන්තුව විසින් එහි එක් මන්ත්‍රීවරයෙක් තෝරා පත් කළ යුතු වේ. එලෙස පුරප්පාඩුව ඇති වී මසක් ඇතුළත මෙකී ඡන්දය පැවැත්විය යුතුය. මෙවැනි අවස්ථාවක් එළැඹි විට රහස් ඡන්දයක් විමසිය යුතු අතර ප්‍රකාශිත ඡන්ද වල පරම බහුතරයෙන් මේ පුද්ගලයා තෝරාපත්කර ගත යුතුය. ඡන්දය විමසීම ආරම්භ වූ විට මහලේකම්වරයා තේරීම් භාර නිලධාරියෙකු ලෙසින් ක්‍රියා කරනු ලබන අතර, කථානායකවරයා ද ඇතුළුව අනෙකුත් සියලු මන්ත්‍රීවරුනගේ නම් කැඳවා ඔවුන’තට ඡන්ද පත්‍රිකා ලබා දී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දෙයි. තමා ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවේ මන්ත්‍රීවරයාට අංක 1, ඉලක්කම සලකුණු කළ හැකිය. සිය මනාපය පරිදි අවශ්‍ය නම් මන්ත්‍රීවරයාට අනුගාමී වශයෙන් අංක 2, 3 ආදී වශයෙන් සලකුණු කළ හැකිය.
කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යනාදී ධූරවලට තෝරා පත්කර ගැනීමේ ඡන්දය
අභිනවයෙන් පත්වූ පාර්ලිමේන්තුවක පළමු කාර්යය වනුයේ මූලාසනය හොබවන ධූර දරන්නන් තෝරාපත්කර ගැනීමයි. එවැනි ඡන්දයකදී ස්ථාවර නියෝග 3 ප්‍රකාර විස්තර වන පරිදි විශේෂිත ක්‍රියාපිළිවෙතක් පවතී. අභිනව පාර්ලිමේන්තුවක ප්‍රථම රැස්වීමේදී හෝ තනතුරේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හී හෝ කථානායකවරයෙකු පත්කර ගත යුතුවේ.
කථානායකවරයෙකු පත්කර ගත යුතු ආකාරය ස්ථාවර නියෝග අංක 4 හි සවිස්තර වශයෙන් දැක්‌වේ. ස්ථාවර නියෝග අංක 4(3) යටතේ කථානායක තනතුරට එක් නමක් පමණක් යෝජනා වී ඇති විටෙක දී කිසිදු ප්‍රශ්නයක් නොවිමසා එම නම මහලේකම් වරයා විසින් ප්‍රකාශයට පත්කළ යුතු බව සඳහන් වේ. එනමුත් කථානායක වශයෙන් එකකට වැඩි නම් ගණනක් යෝජනා කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් එවිට ඡන්දයක් විමසිය යුතු වේ. බෙදුම් සීනුව නාදවීමෙන් අනතුරුව මහලේකම්වරයා විසින් සෑම මන්ත්‍රීවරයෙකු වෙත ඡන්ද පත්‍රිකාව බැගින් ලබාදිය යුතු අතර තමා ඡන්දය ලබා දෙන්නාගේ නම ඔවුන් විසින් තම ඡන්ද පත්‍රිකාවේ ලිවිය යුතුය. එහි ලියූ නම පිටතට නොපෙනෙන පරිදි ඡන්ද පත්‍රිකාව නැමිය යුතු අතර ඡන්දය ප්‍රකාශ කරනු ලබන මන්ත්‍රීවරයා විසින් තම අත්සන ද එහි තැබිය යුතුය.
ඉන් අනතුරුව මහලේකම්වරයා විසින් ඡන්ද පත්‍රිකා එකතුකර පාර්ලිමේන්තු සභා මේසය මත දී ගණනය කළ යුතු වේ. මහලේකම්වරයා විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ යුතුය. මෙලෙස කථානායකවරයා පත්කර ගැනීමට උපයෝගී කරගත් ක්‍රියාපිළිවෙතම නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ආදී තනතුරු උදෙසා ද අදාළ වෙයි. එහෙත් එවිට පවතින එකම වෙනස වනුයේ එම ඡන්ද පවත්වනු ලබන අවස්ථාවේ කථානායකවරයා මූලාසනාරූඪ වී සිටීමයි.
විශේෂ බහුතරය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වූ පනත් කෙටුම්පත්, ආයෝජන ගිවිසුම් සහ එකඟතාවන් සම්මත කර ගැනීමේදී විශේෂිත වූ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතු වේ. මේ අවස්ථාවේදී විශේෂ බහුතරය (2/3) අවශ්‍ය කෙරෙන අතර අනාගතයේදී විමසා බැලිය හැකි වන පරිදි නිශ්චිතව නමෙන් සටහන් තබාගත යුතුය. මෙකී විශේෂ බහුතර ඡන්දය දෙවැනි වර කියවීමේදී පමණක් නොව, තෙවැනි වර කියවීමේදීත් ලබාගත යුතු වේ. කාරක සභා අවස්ථාවේදී ගෙන එන සියලුම සංශෝධනයන්ට ද තුනෙන් දෙකේ බහුතර ඡන්දය අවශ්‍ය කෙරේ.
තීරක ඡන්දය
ඡන්ද සම වූ අවස්ථාවක් ඇතිවුවහොත් කථානායක හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා සිය තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවසරය තිබේ. එනමුත් තුනෙන් දෙකේ බහුතරය අවශ්‍ය අවස්ථාවකදී කථානායකවරයාට තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිය.
බහුතර ඡන්ද විස්සක අවශ්‍යතාව
ඇතැම් යෝජනා සම්මත කර ගැනීමේදී සභාවේ ගණපූරණය (20) තිබිය යුතුය. යම්කිසි විශේෂිත කටයුත්තක් පිළිබඳව සලකා බැලීමට හෝ ඒ පිළිබඳව අභිමත පරිදි ක්‍රියාකිරීමට පමණක් ඕනෑම අවස්ථාවකදී මන්ත්‍රීවරුන්‌ගේ බහුතරය විසින් දැනුම්දීමකින් අනතුරුව, ස්ථාවර නියෝග එකක් හෝ ඊට වැඩි ගණනක් අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන ස්ථාවර නියෝග අංක 135 හි දක්වා තිබේ. කෙසේ නමුත් මෙකී නියෝගය ප්‍රකාර ගෙන එනු ලබන යෝජනාවක් කැබිනට් ඇමැතිවරයකු විසින් ගෙන එනු ලැබූ අවස්ථාවකදී හැර අන් අවස්ථාවකදී නම් බෙදීමේ ඡන්දයකින් තීරණය කළ යුතු අතර, ඊට සහාය දක්වමින් ඡන්දය දී ඇත්‌තේ මන්ත්‍රීවරු විසි දෙනෙකුට අඩු සංඛ්‍යාවක් නම් එම යෝජනාව පරාජය වූ බවට ප්‍රකාශයට පත් කළ යුතුවේ.
|
|