|
|
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ අනුපිළිවෙළ
පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝග 19 ප්‍රකාරව මෙහි පහත සඳහන් අනුපිළිවෙළට සිදු වේ.
| 1. |
අභිනව මන්ත්‍රීවරුන් නිල වශයෙන් දිව්රුම් දීම හෝ ප්‍රතිඥා දීම
ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම. |
| |
|
| 2. |
ජනාධිපතිතුමාගෙන් ලැබෙන සංදේශ
ජනාධිපතිතුමාගෙන් ලැබෙන සංදේශ කියවනු ලබන්‌නේ කථානායකතුමා/ නියෝජ්‍ය කථානායකතුමා/ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයෙකු හෝ විසිනි. |
| |
|
| 3. |
කථානායකතුමාගේ නිවේදන
පාර්ලිමේන්තුවට අදාළ සියලුම කාර්යයන් සම්බන්ධ නිවේදන කථානායකතුමා විසින් ඉදිරිපත් කරනු ලැබේ. ඒවා නම් පනත් කෙටුම්පත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ, පනත් කෙටුම්පත් සහතික කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ අභාවයන්, සභාපති මඬුල්‌ලේ සාමාජිකයන් හා කාරක සභා පත්කිරීම ආදිය වේ. |
| |
|
| 4. |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
කථානායකතුමාට අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට පමණක් ලිපිලේඛනාදිය පිළිගැන්විය හැකිය. |
| |
|
| 5. |
කාරක සභා වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධ වාර්තා පිළිගන්වනු ලබන්නේ අදාළ කාරක සභාවේ සභාපතිවරයා විසිනි. උපදේශක කාරක සභාවල වාර්තා අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලැබේ. |
| |
|
| 6. |
පෙත්සම්
පරිපාලන දුෂ්කරතා සම්බන්‌ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මගින් පාර්ලිමේන්තුවට පෙත්සම් ඉදිරිපත් කිරීමට මහජනතාවට අවකාශ ඇත. |
| |
|
| 7. |
ප්‍රශ්න
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවලදී, අගමැතිවරයාගෙන් හෝ වෙනත් ඕනෑම අමාත්‍යවරයෙකුගෙන්, අදාළ අමාත්‍යාංශවලට පැවරී ඇති විෂයයන් හා කාර්යයන්ට අදාළ පොදු කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසිය හැකිය. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දිනකට ඇසිය හැක්‌කේ වාචික ප්‍රශ්න 3 ක් පමණක් වන අතර ප්‍රශ්න ඇසීමේ කාලය ප.ව. 1.00 සිට ප.ව. 2.00 දක්වා වේ. |
| |
|
| 8. |
ශෝක ප්‍රකාශ යෝජනා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ අභාවයන් සම්බන්ධව ශෝකය ප්‍රකාශ කිරීම සඳහා දිනයක් වෙන් කිරීම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයි. ශෝක ප්‍රකාශ යෝජනා සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැත. |
| |
|
| 9. |
නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා
අඛණ්ඩව මාස තුනක් නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා සභාවේ අනුමැතිය ලබාගත යුතුය. අදාළ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම අනුව, ඕනෑම අමාත්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට නිවාඩු ලබාගැනීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. |
| |
|
| 10. |
අමාත්‍යාංශ නිවේදන
අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ, පොදු වැදගත්කමකින් යුත් කරුණු, රජයේ ප්‍රතිපත්ති, විදේශ සංචාරවලින් ලැබුණු ප්‍රතිඵල, රජය හා විදේශ ආණ්ඩු හෝ නියෝජිත ආයතන සමඟ ඇති කරගනු ලබන ගිවිසුම් මේවාට ඇතුළත් වේ. එවැනි නිවේදන පිළිබඳව කථානායකතුමාට පූර්ව දැනුම්දීමක් කළ යුතුය. සභාව හමුවේ කරනු ලබන වැරදි හෝ සාවද්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා අමාත්‍යවරයෙකුට එවැනි නිවේදන ඉදිරිපත් කළ හැකිය. එහිදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොලැබුණ ද, පසු දිනකදී ඒ පිළිබඳ විවාද කිරීමට අවස්ථාව ලබාගත හැකිය. |
| |
|
| 11. |
පෞද්ගලික පැහැදිලි කිරීම්
කවර හෝ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව විවේචනයක් එල්ල වූවහොත් හෝ පෞද්ගලික ස්වභාවයක කරුණු කියවුණහොත් හෝ පාර්ලිමේන්තුවේ සිදු වූ සිද්ධියක් සම්බන්ධව වැරදි වාර්තාවක් පුවත්පත්වල පළවූ විටක හෝ පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදුකිරීමට ඔහුට හෝ ඇයට හැකිය. මන්ත්‍රීවරුන් මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට පෙර කථානායකතුමාගේ අවසරය ලබාගත යුතුය. |
| |
|
| 12. |
වරප්‍රසාද ප්‍රශ්න
ස්ථාවර නියෝග 19 යටතේ කථානායකතුමා වෙත කරනු ලබන විධිමත් දැනුම්දීමකින් පසුව, වරප්‍රසාද ප්‍රශ්නයක් වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකිය. කෙසේ වුව ද, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ඍජුවම සම්බන්ධ වන හදිසි යෝජනා සහ අනෙකුත් සියලු යෝජනා දිනට නියමිත කටයුතු අභිභවා ප්‍රමුඛත්වය ගත යුතුය. |
| |
|
| 13. |
ප්‍රධාන කටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය නොවන යෝජනා
පාර්ලිමේන්තුව රැස්වන පැය ගණන වෙනස්කිරීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සඳහා පූර්ව දැනුම්දීමක් අවශ්‍ය නොවන අතර එවන් යෝජනා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හෝ කැබිනට් ඇමැතිවරයෙක් විසින් සිදු කළ හැකිය. |
| |
|
| 14. |
ප්‍රධාන කටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය වන යෝජනා
සාමාන්‍යයෙන් ප්‍රධාන කටයුතු ආරම්භයේ ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සඳහා දැනුම්දීමක් කිරීම අවශ්‍ය වේ. පෞද්ගලික මන්ත්‍රීවරුන්‌ගේ කෙටුම්පත්වලට පෙර ආණ්ඩුවේ කෙටුම්පත් ඉදිරිපත් කිරීම සිදු කරයි. |
| |
|
| 15. |
ප්‍රධාන කටයුතු
ප්‍රධාන කටයුතු යනු දැනුම් දීම සිදු කර ඇති සියලු කටයුතු හා යම් දිනයක් සඳහා න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති සියලු කරුණුය. එයට පනත් කෙටුම්පත්, යෝජනා, රෙගුලාසි, පරිපූරක ඇස්තමේන්තු හා පෞද්ගලික මන්ත්‍රීවරුන්‌ගේ කෙටුම්පත් ආදිය ඇතුළත් වේ. |
|
|