|
රීති හා ක්‍රියා පටිපාටිය
පාර්ලිමේන්තුව රැස්වන ඕනෑම දිනයක පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු ඉදිරිපත් කෙරෙන කල් තැබීමේ යෝජනා සඳහා වූ රීති හා ක්‍රියා පටිපාටි පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනයකම කල් තැබීමේ අවස්ථාවේදී පැයක කාලයක් කල් තැබීමේ යෝජනා සාකච්ඡා කිරීම සඳහා යොදාගැනීමේ ක්‍රියාපටිපාටියකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එකඟ වී ඇත. කල් තැබීමේ යෝජනාවක් පිළිබඳව දැනුම්දීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරයකු ඒ බව තමා අයත්වන පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය මඟින් හෝ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය මඟින් ඊට පෙර දින මධ්‍යාහ්න 12.00 ට පෙර පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත ලිඛිතව එම දැනුම්දීම කළ යුතුය. එවන් යෝජනා කල් තැබීමේ කාලයේ දී විවාදයට ගනු ලැබේ. එනම්, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ප.ව. 6.30 ටය. එවන් දැනුම්දීමක් පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශය වෙත යොමු කිරීම පිණිස පාර්ලිමේන්තු මහලේකම් විසින් එහි පිටපතක් සභානායක ලේකම් වෙත යවනු ලැබේ. විශේෂයෙන්ම අදාළ ඇමැතිවරයාට එදිනට පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමටත්, යෝජනාව පිළිබඳ ප්‍රමාණවත් පරිදි අවබෝධයක් ලබා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් අදාළ පියවරයන් ගැනීමට හැකියාව ලබාදීමත් එහි අරමුණ වේ. සෑම දිනකදීම භාරගනු ලබන්‌නේ එක් කල් තැබීමේ යෝජනාවක් පමණි. කෙසේ වෙතත් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවක ඇති කරුණු අධිකරණයක විභාගවන නඩුවකට අදාළනම් හෝ පාර්ලිමේන්තුවේ දී එකී සභාවාරයේදීම ඒ හා සමාන වෙනත් යෝජනාවක් පෙර අවස්ථාවක සාකච්ඡාවට ලක්ව ඇත්නම් එවන් යෝජනා සඳහා අවසරය ලබා නොදීමට කථානායකවරයාට බලතල ඇත. මන්ත්‍රීවරයකු කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළ විට එය වෙනත් මන්ත්‍රීවරයකු විසින් ස්ථිර කළ යුතුය. විවාදය අවසානයේ අදාළ අමාත්‍යවරයා විසින් එයට පිළිතුරු සැපයිය යුතුය. විවාදයේදී ආණ්ඩු පක්ෂය සඳහා විනාඩි 30 ක කාලයක් ද විපක්ෂය සඳහා විනාඩි 30 ක කාලයක් ද බැගින් ලැබේ. කල් තැබීමේ විවාදයක් පිළිබඳව ඡන්ද විමසීමකට අවස්ථාව නොලැබේ. ඉහත කී ක්‍රමය 1995 සිට ක්‍රියාත්මක වේ. ඊට පෙර ක්‍රමය වූයේ හදිසි පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්න 10 ක් සභාව කල් තැබීමෙන් පසුව ඇසීමයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව අනුව සාකච්ඡාවට ගැනෙන කල් තැබීමේ යෝජනා කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය අනුව ද සාකච්ඡාවට ගනු ලැබේ. එවන් යෝජනා එකී කාරක සභාව විසින් තීරණය කරනු ලබන කාලසීමාවක් තුළ දී සාකච්ඡාවට ගනු ලැබේ. කල් තැබීමේ යෝජනාවල උපයෝගිතාව මෙම ක්‍රමය පෞද්ගලික මන්ත්‍රීවරුන්ට හදිසි පොදු වැදගත්කමක් ඇති කරුණු කෙටි දැනුම්දීමකින් සමස්ථ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරවීමටත්, අවශ්‍ය කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යවරයාට බලකර සිටීමටත් ඉතා ප්‍රයෝජනවත් වේ.
|
|