|
|
කල් තැබීමේ යෝජනා
හැඳින්වීම
"කල් තැබීම" යනු පාර්ලිමේන්තුව නැවත ඉදිරි දිනයකදී රැස්වන තුරු රැස්වීම් වාර තාවකාලිකව කල් තැබීමයි. එසේ රැස්වීම්වාරය කල් තබන ලබන අවස්ථාවේ මන්ත්‍රීවරයකු විසින් මතුකරනු ලබන කරුණු කල් තැබීමේ යෝජනා නමින් හඳුන්වනු ලබයි.
මෙය පෞද්ගලික මන්ත්‍රීවරුන් විසින් හදිසි පොදු වැදගත්කමකින් යුත් නිශ්චිත කරුණක් කෙටි දැනුම් දීමකින් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරවන ක්‍රමයකි.
කල් තැබීමේ යෝජනා වර්ග
| අ. |
ස්ථාවර නියෝග 17 යටතේ වන කල්තැබීමේ යෝජනා. |
| |
|
| ආ. |
සෑම දිනකම පැයක් වෙන්කර දී ඇති "කල්තැබීමේ කාලයේදී" ඉදිරිපත් කළ හැකි කල්තැබීමේ යෝජනා. |
| |
|
| ඇ. |
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය පරිදි ඉදිරිපත් කළ හැකි යෝජනා. |
ස්ථාවර නියෝග 17 යටතේ වූ කල් තැබීමේ යෝජනාවකට අදාළ ක්‍රියාමාර්ගය
එවන් යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් ඒ බව කථානායකතුමාට ලිඛිතව දන්වා ඔහුගේ අවසරය ලබාගත යුතුය. එකී අවසරය ලදොත් එම මන්ත්‍රීවරයාට ප්‍රශ්න ඇසීමේ කාලයෙන් පසුව යෝජනාව ඉදිරිපත් කොට සභාවේ අවසරය ලබාගත හැකිය. අවසර නොදෙන ලදුව මන්ත්‍රීවරු 20 දෙනෙකු ඔහුගේ සහාය සඳහා ඉදිරිපත් වන්‌නේ නම් එය සෑහේ. අවසර දෙන ලද හෝ එසේ සහයෝගය දක්වන ලද යෝජනාවකට අදාළ විවාදය ප.ව. 2.30 ට ආරම්භ වෙයි.
කථානායකතුමා විසින් යම් යෝජනාවක්, ප්‍රතික්‌ෂේප කොට ඇති අවස්ථාවක වුවත් ඔහු විසින් අදාළ මන්ත්‍රීවරයාට යෝජනාව ඉදිරිපත් කිරීමට අවසර දී පසුව, ප්‍රතික්‌ෂේප කිරීමට හේතු වූ කරුණු සභාවට ඉදිරිපත් කරනු ලබයි.
මෑතක දී එක් වූ නව වර්ධනයක් වනුයේ මන්ත්‍රීවරුන්, තමන්‌ගේ යෝජනා කල් තැබීමේ විවාද සඳහා ඉදිරිපත් කිරීමේදී ඒවා අදාළ පක්ෂ නියෝජිතයන් මඟින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට යෝජනාව සඳහා එම කාරක සභාවේ අවසරය ලබා ගත යුතු වීමයි. කාරක සභාව විසින් එය පිළිගත් පසු විවාදය සඳහා දිනයක් නියම කොට ගත හැකිය. ඉන්පසු ඉහත කී ක්‍රියාමාර්ගය අනුගමනය නොකොට යෝජනාව සාකච්ඡාවට ගත හැකිය. කෙසේ වුවත් එක් දිනයකදී ඉදිරිපත් කළ හැකි වන්නේ එක් යෝජනාවක් පමණි. |
|